March 29, 2024

ඡන්දය වෙනස් වෙයි! මන්ත්‍රීවරුත් අඩු වෙයි

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60/40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඉදිරියේදී 70/30 අනුපාතයට වෙනස් කරන්නැයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වනවා.

අස්ථාවර පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ අවම කිරීම එහි අමුණ බවයි එම කමිටුව පෙන්වා දී තිබෙන්නේ.

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීම සියයට 60ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරිය සියයට 40 අනුපාතක්‍රමය යටතේ ද දැන සිදු කෙරෙනවා.

එය සියයට 70ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරි සියයට 30 අනුපාත ක්‍රමය යටතේ ද වන ලෙස ඉදිරි ඡන්ද විමසිමේදී වෙනස් කරන්නැයි එම කමිටුව නිර්දේශ කර තිබෙනවා.

මේ අතර පළාත් පාලන ආයතනවල දැනට සිටින 8000ක් පමණ වන සභික සංඛ්‍යාව ඉදිරි ඡන්ද විමසිමේදී 6500ක් පමණ දක්වා අඩුවිය යුතු යැයි ද කමිටුව නිර්දේශ කර ඇතැයි වාර්තා වනවා.

පවතින ක්‍රමය තුළ පළාත් පාලන සභිකයන්ගේ අනවශ්‍ය වැඩිවීමක් පවතින බවත් එය අනිවාර්යයෙන්ම 1500කින් පමණ අඩුවිය යුතු බවත් කමිටුව පෙන්වා දී තිබෙනවා.

පුංචි ඡන්දෙට වෙනස්කම් රැසක්

යම්කිසි පක්ෂයකට සභියෙකු දිනාගැනීමට අවශ්‍ය වන්නේ නම් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5 ක ඡන්ද ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස කමිටුව විසින් යෝජනා කර ඇති අතර මින් පෙර එවැනි නියමක් පැවතුනේ නැහැ.

බහු මන්ත්‍රී කොට්ඨාශ සඳහා ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කිරීමට කමිටුව යෝජනා කර තිබෙනවා.

එවැනි අවස්ථාවක එකම පක්ෂයකින් පමණක් තෝරා ගැනීමට මෙතෙක් දී තිබූ වරණය පක්ෂ දෙකක අපේක්ෂකයින් දෙදෙනෙක් වෙනුවෙන් භාවිත කිරීමට හැකිලෙස ප්‍රතිපාදන සකස් විය යුතු බවටයි කමිටුව විසින් යෝජනා කර ඇත්තේ.

ප්‍රසාද ආසන දෙකක්

පළාත් පාලන බල ප්‍රදේශයක වැඩිම කොට්ඨාශ ප්‍රමාණයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රසාද ආසන දෙකක් ලබා දීමද කමිටුවේ තවත් යෝජනාවක්.

පලාත් පාළන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සදහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව රාජ්‍ය සේවා පලාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙත ඊයේ පෙරවරුවේ භාරදී තිබෙනවා. ඒ, එම කමිටුවේ සභාපති, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර් ඒ ඒ කේ රණවක විසින්.

පසුගිය රජය සමයේ හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය හේතුවෙන් පැනනැගුණු ගැටලු විසදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් එම කමිටුව පත් කළේ.

එම කමිටුවේ සෙසු සමාජිකයින් වූයේ ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ සහ හිටපු අමාත්‍යංශ ලේකම් ජයලත් රවී දිසානයකයි.

ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ඡන්ද විමසීමෙන් නිරූපණය නොවීම, පත්වන පළාත් පාලන ආයතන අස්තාවර වීම මෙන්ම සභික සංඛ්‍යාව වැඩිවීම වැනි අඩුපාඩු මගහරවාලමින් යෝජනා ඉදිරිපත් කිරීම කමිටුව වෙත පැවරුණා.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 14 July 2021 10:13