April 25, 2024

විපක්ෂ නායකගේ තැනේ හැටියට ඇණේ ගැහිල්ලෙන් වරාය ඇමති අමාරුවේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා "තැනේ හැටියට ඇණේ ගැසීම" නිසා වරාය අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතාට ආණ්ඩුව ඇතුලේම ඇතැම් පාර්ශව වල විරෝධය එල්ල වෙමින් තිබෙනවා.

ඒ ලාංකීය මුහුදු සීමාව තුළ ගිනිබත් වූ පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් ප්‍රජාවට මෙන්ම සාගර පරිසරයට සිදු වූ හානිය පිළිබදව කෙරෙන සාකච්ඡා වලට සහභාගි වන ලෙස විපක්ෂ නායකවරයාට අමාත්‍යවරයා කළ ඇරයුම මුල් කොට ගෙනයි.

පාර්ලිමේන්තුවේදී කළ ආරාධනය

ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇසීමේ වේලාවේදී පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් සිදුවූ හානි වලට වන්දි ගෙවීම පිළිබඳව මාතෘකාවද සාකච්ඡාවට ලක් වුණා.

එහිදී ඒ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කීපයක් මතු කළ අතර ඊට පිළිතුරු ලෙස වරාය භාර අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයාටත් කැමති නම් ඒ සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා වලට සහභාගිවීමට හැකි බව සඳහන් කළේ එම ආරාධනය විපක්ෂ නායකවරයා පිළිනොගනී යන විශ්වාසය මතයි.

හැරෙන තැපෑලෙන් ලැබුණු පිළිතුර

එහෙත් එම ආරාධනය කළ විගසම විපක්ෂ නායකවරයා එම ආරාධනය පිළිගෙන සාකච්ඡා තියෙන වේලාව කියන්න මමත් එන්නම් යැයි ප්‍රකාශ කළ අතර ඊට ඒ අවස්ථාවේ සභාවේ සිටී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවූයේ එය හුදෙක්ම සම්ප්‍රදායික දේශපාලන පිළිතුරක් ලෙස සිතාය.

එහෙත් විපක්ෂ නායකවරයා එම ආරාධනය ට අනුව මේ වන විට ගිනිගත් නෞකාවෙන් මෙරට සාගරයට හා ධීවර ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් වරාය අමාත්‍යවරයාගේ ද සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවති රැස්වීමකට ඊයේ (12) සහභාගි වුණා.

වරාය ඇමතිට දොස්

ආරංචි මාර්ග වලට අනුව විපක්ෂ නායකවරයාගේ මෙම සහභාගිත්වය ආණ්ඩු පාර්ශ්වයේ බොහෝ පිරිසකගේ විවේචනයට හේතු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අභයගුණවර්ධන අමාත්‍යවරයාටද අප්‍රසාදය පළ කොට තිබෙන්නේ "අහක යන නයි රෙද්ද අස්සේ දා නොගන්නා ලෙස" උපදෙසක්ද ලබාදෙමින්.

විපක්ෂනායකවරයා මෙම සාකච්ඡා වලට සහභාගී වීමෙන් සිදු වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා ගන්නා ප්‍රගතීන්ගේ ගෞරවයෙන් කොටසක්ද ඔහු ලබා ගැනීම බව ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බොහෝ අයගේ පොදු මතය වී තිබෙන්නේ.

හැමදේටම විරුද්ධ වන විපක්ෂය

ආණ්ඩුව කරන කිසිම දෙයක හොඳක් නොදකින පාර්ශවයක් ලෙසයි විපක්ෂ නායකවරයා ඇතුලු සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩු පාර්ශවයේ මැති ඇමතිවරුන් ප්‍රසිද්ධියේම හඳුන්වන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම රැස්වීමට සහභාගි වීමෙන් එම චෝදනාවට සැලකිය යුතු බලපෑමක් එල්ලකොට තිබෙනවා.

මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ විපක්ෂ නායකවරයෙක් මෙවැනි සාකච්ඡාවකට සහභාගි වූ පළමු අවස්ථාවද මෙයයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 July 2021 07:16