April 19, 2024

දුමින්දගේ බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පල්ලෙකැලේ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය රඳවා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පෙත්සම ඉදිරිපත්කර තිබුණේ දුමින්ද නාගමුව මහතාගේ බිරිඳ වන එන්. දුලානි ප්‍රියංගිකා මහත්මිය විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි, පල්ලෙකැලේ සමූපකර අධ්‍යයන ආයතනයේ පිහිටි නිරෝධාන මධ්‍යස්ථානය භාර ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා. 

පෙත්සම්කාරිය සඳහන් කර ඇත්තේ ඉකුත් 07 වනදා කොළඹ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල පැවැති උද්ඝෝෂණයකට සහභාගිවෙමින් සිටියදී අත්අඩංගුවටගත් තම සැමියා පසුව පොලීසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇප මත මුදාහළ බවයි.

ඇප මත මුදා හැරීමෙන් පසුව පොලීසිය විසින් තම සැමියා බලහත්කාරී ආකාරයෙන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ බව කියන පෙත්සම්කාරිය ඔහු මේ වනවිට පල්ලේකැලේ සමුපකාර අධ්‍යයන ආයතනයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින බවත් චෝදනා කළාය.

කොවිඩ් ආසාදිතයෙකුගේ ළඟම ආශ්‍රිතයා පවා නිවස තුළ නිරෝධායනයට ලක්කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ නිකුත්කර තිබියදී උද්ඝෝෂණයකට සහභාගිවීම හේතුකරගෙන තම සැමියා බලහත්කාරී ලෙස නිරෝධායන ක්‍රියාවලියට යොමුකිරීමට පොලීසිය ගත් පියවර නීතියට පටහැනි බව ඇය පෙන්වා දෙනවා.

ඒ අනුව නීතිවිරෝධී ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රඳවාගෙන සිටින තම සැමියා වහා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු  නිදහස්කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණාය.

Rate this item
(0 votes)