April 25, 2024

ජීඑල් පීරිස් සීයා සහ ගෝඨාභය මාමා ගැන අමුතු ලිපියකින් ඔන්ලයින් වර්ජනය ඇරඹෙයි

ඔන්ලයින් වර්ජනය ඇරඹෙයි

මේවන තෙක් ස්වෙච්ඡාවෙන් පවත්වාගෙන ආ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් අද (12) සිට ඉවත් වීමට ගුරු වෘත්තීය සමිති තීරණය කළා.

ඒ අනුව දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් Zoom වැනි මෙවලම් ඔස්සේ දෛනිකව පැවැත්වූ ඉගැන්වීම් කටයුතු මෙන්ම WhatsApp සහ වෙනත් මෙවලම් ඔස්සේ සිදුකරගෙන ගිය පැවරුම් ලබා දීමේ කටයුතු ද මේවන විට නවතා දමා ඇති බව යි වාර්තා වන්නේ.

වර්ජනයට පෙර සිසුන්ට ඔන්ලයින් ලිපියක්

මේ අතර එලෙස ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු නවතා දැමීමට පෙර ගුරුවරුන් විසින් සිය සිසුන් හට යවා ඇති විශේෂ සටහනක් පිළිබඳව ඒෂියන් මිරර් අපට වාර්තා වූවා.

මෙම සටහන ගුරුවරුන් විසින් සිය සිසුන් සිටින සමූහ (Groups) වෙත යවා සිය ඉගැන්වීම් කටයුතුවලින් බැහැර වී ඇති බව යි වාර්තා වන්නේ.

"දරුවනේ, 12 වෙනි දා සිට නිවාඩුයි" යනුවෙන් අරඹා ඇති එහි දැක්වෙන්නේ, කොවිඩ් නිවාඩු සමයේ දී තමන්ට හැකි පමණින් ඉගැන්වීමේ කටයුතුවල නිරත වීමට හැකි වීම ගැන සතුටුවන බවයි.

එම ඉගැන්වීම සිදු කළේ මුදල් පරමාර්ථයෙන් නොවන බවත්, සිසු සිසුවියන්ට ඇති ආදරය නිසා බවත් එම සටහනෙහි දැක්වෙනවා.

එහෙත් අකමැත්තෙන් වුව ද අද (12) සිට ඉගැන්වීම් කටයුතුවලින් බැහැර වීමට සිදුවන බවත්, ඒ පිළිබඳව තමන් හා තරහා නොවන ලෙසටත් ගුරුවරුන් සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජී.එල්. පීරිස් සීයා සහ ගෝඨාභය මාමා ගැනත් ලියලා

අදාළ සටහනෙහි තවදුරටත් දැක්වෙන්නේ "අපිටත්, ඔබටත් උදව් නොකරන අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් ඇමති සීයාටත්, අපේ ප්‍රශ්ණ විසඳන්නේ නැති ගෝඨාභය මාමාටත් කරුණු තේරුම් කරලා දුන්නට පස්සේ අපි ඔයාලාට උගන්වන්න එන්නම්" යනුවෙන්

යළි ඉගැන්වීම් කටයුතු ඇරඹෙන තෙක් මෙතෙක් ඉගැන්වූ දේ යළි අධ්‍යනය කරමින් සතුටින්, විනෝදයෙන්, නිදහසේ මෙන්ම පරිස්සමින් සිටින ලෙසට ද අදාළ සටහන ඔස්සේ ගුරුවරුන් සිය සිසුන්ට දන්වා සිටිනවා.

දිලුම් නිසා වර්ජනය වර්ධනය වෙයි

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට ගුරුවරු ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සිදු කළ ප්‍රකාශයක් මේවන විට ගුරුවරුන්ගේ දැඩි විවේචනයට පාත්‍ර වී තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රකාශය නිසා අදින් ඇරඹෙන ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් බැහැරය සිදු කරන වර්ජනය තවදුරටත් තීව්‍ර වී ඇති බව යි වාර්තා වන්නේ.

වර්ජනය ප්‍රකාශයට පත් කොට ඇති මොහොතක පවා ළමුන් හට ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉගැන්වීම් කටයුතු කිරීමට සූදානම්ව සිටි ගුරුවරුන් බොහෝ පිරිසක්, රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පසු අදාළ වර්ජනයට සහය පළ කරමින් එම ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ද අප වෙත දැනගන්නට ලැබුණා.

එක් ගුරුවරයෙක් ඇතිලු

මෙලෙස නිරෝදායන නීති කඩ කර ඇත්තේ ගුරුවරු නම්, ඔවුන් දරුවන්ට ඉගැන්වීම සඳහා කිසිසේත් සුදුසු නොමැති බව දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ලංකාවේ සියළු දරුවන්ට ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට එක් ගුරුවරයෙකු ද සෑහෙන බව යි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

වැස්සකට වත් දිලුම් ඉස්කෝලේ ගිහින් නැද්ද?

රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලංකා ගුරු සංගමයේ උප සභාපති රසිකා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළේ මෙය මෙරට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ආණ්ඩුව විසින් සිදු කළ බරපතළ අපහාසයක් බව යි.

ආණ්ඩුව ගුරුවරයාට කරන මෙම අපහාසයන්ට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වන ලෙස ඇය සියළු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පාසල් ළමුන් ලක්ෂ 43ක් සිටින බවත්, එවැනි පසුබිමක දී එම සියළුම ළමුන් හට එක් ගුරුවරයෙකුට ඔන්ලයින් හරහා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකි ද යනුවෙනුත් ඇය ප්‍රශ්ණ කරනවා.

දිලුම් අමුණුගම ඇමතිවරයා වැස්සකට හෝ පාසලකට ගොස් නැතිදැයි ඇය වැඩිදුරටත් අසා සිටියා.

“ගුරුවරුන්ට අපහාස කරන්න, ගුරුවරුන්ව මේ විදිහට මර්ධනය කරන්න මේ වගේ මෝඩ කතා කියලා තවත් පච වෙන්න එපා” යනුවෙන් ද හඳපාන්ගොඩ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මොකක්ද මේ වර්ජනය?

ගුරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් අද (12) දින සිට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා දීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළා.

විරෝධතාවන්ට සහභාගී වූ ගුරුවරුන් ඇතුළු වෘත්තීය සගයින් අනීතිකව රඳවා තබාගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව යි එම වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ.

එම කරුණු මෙසේ යි..

  • අනීතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති අතර එලෙස අනීතිකව රඳවාගෙන සිටින ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිදහස් නොකිරීම.
  • අධ්‍යාපන ගැටළු සහ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව නොවිසඳීමට එරෙහිව හඬනගන ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නායකයින් මර්ධනය.
  • නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම සහ අධ්‍යාපනය හමුදාකරණය කිරීම.

මෙම කරුණු පදනම් කරගනිමින් ගුරුවරුන් පහත වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹ තිබෙනවා.

  • දැනට ස්වෙච්ඡාවෙන් සිදුකරන මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත් වීම.
  • උසස්පෙළ විභාග අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කිරීම නතර කිරීම.
  • ප්‍රාදේශීය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන රාජකාරීවලින් ඉවත් වීම.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට විදුහල්පති සංගම් ඇතුළු අධ්‍යාපන සේවයේ වෘත්තීය සමිති 23ක් එක්ව සිටිනවා.

එම වෘත්තීය සමිති අතර පහත ඒවා ප්‍රමුඛ වනවා.

  • ලංකා ගුරු සංගමය
  • ලංකා ගුරු සේවා සංගමය
  • සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
  • විදුහල්පති සේවා සංගමය
  • ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
  • පුහුණු විද්‍යාපීඨ සහ උපාධිධාරී සංවිධානය
  • ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය
  • ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය
  • අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
  • ලංකා ප්‍රගති ගුරු සංගමය
  • ගෘහ විද්‍යා, කෘෂි විද්‍යා ඩිප්ලෝමාධාරී සංගමය
  • ඉස්ලාම් ගුරු සංගමය
  • කතෝලික ගුරු සංගමය

Rate this item
(0 votes)
Last modified on Monday, 12 July 2021 13:19