March 19, 2024

ජනතාව අසරණයි - රට ඇරිය ගමන් බොහෝ අය දිව ගියේ මෙතැනටයි

මාසයක කාලයක් පුරා බලපැවැත්වුණු සංචරණ සීමා ඉවත් කළ වහාම රන් භාණ්ඩ උගස් ගන්නා ස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ පිළිබඳව සමාජ ජාල තුළ ද දැඩි කතාබහක් මතු වී තිබෙනවා.

ඊයේ (21) දිනයේ සංචරණ සීමා ඉවත් කළ අතර ඒ අනුව ඊයේ මෙලෙස උගස් මධ්‍යස්ථාන ඉදිරිපිට තිබුණු දිගු පෝලිම්වල ඡායාරූප ද මේවන විට සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතිනවා.

රටෙහි පවතින වාතාවරණය හමුවේ ප්‍රජාව කොතරම් අසරණ වී ඇත්දැයි යන්නට එය කදිම සාක්ෂියක්වන බවට යි බොහෝ පුද්ගලයින් එම ඡායාරූපවලට අදහස් දක්වමින් පවසන්නේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද මේ පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ ඊයේ දින රට විවෘත කිරීමත් සමග ජනතාව කන කර ආභරණ උකස් තැබීමට පටන් ගත්  බවයි.

ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වී ඇති බවත්, ජනතාව දුවන්නේ අවසාන තෙල් ටිකෙන් බවත් පැවසූ විද්‍යාරත්න මහතා ප්‍රශ්ණ කොට සිටියේ, මේ අවස්ථාවේ දී ආභරණ උකස් තබන ජනතාව ඊළඟ අවස්ථාවේ දී ආහාර ගන්නේ කෙසේ ද යනුවෙන්.

ඊළඟ මොහොතේ දී ජනතාවට වහ කෑමට සිදුවන බව යි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර ජනතාව මුදල් නොමැතිව අසරණ වී ඇති බවට රජයේ පාර්ශවයට මෙලෙස චෝදනා එල්ල වෙද්දී දිවයින පුරා මත්පැන් වෙළඳසැල් ඉදිරිපිට ද දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඇතැම් පුද්ගලයින් මත්පැන් විශාල ලෙස මිලට ගෙන නිවෙස්වලට රැගෙන යන අයුරු යි නිරීක්ෂණය වූයේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 22:26