April 18, 2024

ආණ්ඩුව තුළ සුපිරි බලවතෙක්! අවසානයේ ගම්මන්පිල හෙළිකරයි!

තමා දේශපාලනයේ සිටි කාලයට වඩා දේශපාලනයේ ඉන්නට තිබෙන කාලය වැඩි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

ඛනිජ තෙල් පිරිපහදුව සහ ප්‍රවාහනය පෞද්ගලීකරණය කිරීමට බලාපොරොත්තුවන්නේ දැයි ඔහු ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

අමාත්‍ය ගම්මන්පිල ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

එමෙන්ම කිසිවෙකුට එය සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ මොහොතේ දී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසූවේ ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළ මොහොතේ දී ආණ්ඩු පාර්ශවයේම මන්ත්‍රීවරයෙකුවන සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විශාල විරොධතාවක් සිදු කිරීම හරහා පොහොට්ටුව සහ ආණ්ඩුව යනු එකක් නොව දෙකක් දැයි තමන්ට ගැටළුවක් බවයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව ගනු ලැබූ තීරණයකට අභියෝග කිරීමට තරම්, ආණ්ඩුව තුළ සුපිරි බලයක් ඇති පුද්ගලයා කවුරුන්දැයි බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසා සිටියා.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා එයට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

“විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට අනුව නම්, ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා මම වෙමි”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 14:22