April 19, 2024

රනිල්ගේ හිත උදයට: විශ්වාසභංගය ගැන ස්ථාවරයක

එළබෙන 23 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තමන් ගන්නා ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි.

එම විශ්වාසභංගයේදී තමන්ගේ ඡන්දය වැටෙන්නේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව නොව ඊට වගකිව යුතු ජනපති , තෙල් වැඩි කිරීමේ තීරණයට අත්සන් කළ මුදල් අමාත්‍යවරයා වන අගමැති සහ එම තීන්දුව අනුමත කළ සමස්ත කැබිනට් මණ්ඩලයට විරුද්ධව බව එ.ජා.ප නායකයා සඳහන් කරන්නේ "උදය බැතිදු අද තනියම වෙල මැද්දේ" යන කවි පදයක්ද මතක් කරමින්.

විශ්වාසභංගයෙන් ගැහුවෙ වැරදි ඉලක්කයට

එ.ජා.ප නායකයා මෙම විශ්වාසභංගය ගැන වැඩිදුරටත් සඳහන් කරන්නේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමෙන් සමගි ජන බලවේගය බලාපොරොත්තු වූ අරමුණ ඉටු නොවන බවයි.

මෙම විශ්වාසභංගය ගෙන ඒමෙන් සමගි ජන බලවේගය බලාපොරොත්තු වූයේ උදය ගම්මන්පිල හා පොදු ජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් යන පාර්ශ්ව අතර තිබෙන බෙදීම තවදුරටත් වැඩි කිරීම වුවත් දැන් ඉන් සිදුවන්නේ පොදුජන පෙරමුණේ ලේකම් ඇතුළු සියලු දෙනා ගම්මන්පිල අමාත්‍යවරයා සමග සිට ගැනීම බවයි වික්‍රමසිංහ මහතාගේ අදහස වන්නේ.

විශ්වාසභංගයට අත්සන් තැබීම

එනිසා විශ්වාසභංගය ගෙන ආ යුතුව තිබුණේ සමස්ත ආණ්ඩුවට එරෙහිව බව පෙන්වා දෙන එ.ජා.ප නායකයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු  ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙම විශ්වාසභංගයට අත්සන් නොකරන බවද සඳහන් කරනවා.

මෙම විශ්වාසභංග යෝජනාව හුදෙක් සමගි ජනබලවේගයේ විශ්වාසභංගයක් මිස සමස්ත විපක්ෂයේම විශ්වාසභංගයක් නොවන බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා විපක්ෂයේ අන් පක්ෂ ඊට මෙතෙක් අත්සන් තබා නොමැති බව තමාට දැනගන්නට ලැබී තිබෙන බවයි සඳහන් කරන්නේ.

බෙදී  සිටි අය එකතු වීම

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙන් සිදුවූයේ ආණ්ඩුව තුළ බෙදී සිටි පාර්ශව ඊට මුහුණ දීම සඳහා යළි ඒකරාශි වීම බවද එ.ජා.ප නායකයා අවධාරණය කරනවා.

එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ චමුදිත සමරවික්‍රම සමග කළ සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ගැන දැක් වූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 12:09

Related items