April 20, 2024

සංචරණ සීමා ගැන දන්වා ජනපතිට ලිපියක්

දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කිරීම වෛරසයේ පැතිරීම වැඩිවීමටත් නව ප්‍රභේදයේ ව්‍යාප්තියටත් හේතුවිය හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

ඩෙල්ටා ප්‍රභේදය ද සමාජයෙන් හඳුනාගෙන ඇති මෙවැනි අවස්ථාවක සංචරණ සීමා ඉවත් කිරීම සුදුසු නොවන බවත් සංචරණ සීමා ඉවත් නොකර එය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කළහොත් අප්‍රේල් මාසයේ පැවති තත්ත්වයක් රටතුළ යළි නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.

සංචරණ සීමා ලබන 28 වනදා තෙක් දීර්ඝ කරන ලෙස සිය සංගමය මීට පෙර ඉල්ලීමක් කර තිබූ බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කළේ.

එහෙත් ලබන 21 වනදා සිට 23 වනදා දක්වා දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කර යළි පැනවීමේ පදනම කුමක්දැයි පැහැදිලි නොවන බව එම සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සදහන්.

සංචරණ සීමා ක්‍රියාත්මක මෙම කාල සීමාවේදී ද දෙදහස ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් සහ කොරෝනා මරණ 50 ඉක්මවා වාර්තා වනවා.

මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයද මෙරට සමාජයෙන් හමුවෙමින් ඇති පසුබිමක එම අවදානම තවදුරටත් ඉහළ යන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.

මෙම කරුණු පදනම් කර ගනිමින් මෙවැනි තීරණාත්මක මොහොතක සංචරණ සීමා ඉවත් කිරීමකින් තොරව එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙයසි එම සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ.

සංචරණ සීමා ඉවත් කළහොත් සති 03 ක කාලයක් සංචරණ සීමා පනවමින් කොරෝනා පාළනය සදහා ගත් සියලු ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල රහිතවනු ඇති බවද එම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබෙනවා.

Rate this item
(1 Vote)

Related items