April 20, 2024

රට විවෘත කළත් බාර් වලට වෙන දේ

සංචරණ සීමා ඉවත් කෙරෙන අද (21) සිට මත්පැන් විකිණීම සඳහා සූරාබදු බලපත්‍ර ඇති ස්ථාන, සීමිත ලෙස විවෘත කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය සූරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනවා.

ඒ අනුව, වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු (ර.බී. 22A) බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවන් තුළ දී ක්‍රියාත්මක කළ හැකි බව එම නිවේදනයේ සදහන්.

එම ස්ථානයෙහිම හිද මත්පැන් පානය කිරීම සඳහා වූ ආපනශාලා, හෝටල්, ආගන්තුක නිවාස, තානායම්, සිනමා ශාලා හා සමාජ ශාලා ආදිය සඳහා ලබාදී ඇති සුරාබදු බලපත්‍ර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකළ යුතු ය.

කෙසේ වුවද විවෘත කිරීම සඳහා අවසර දී ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත පාරිභෝගික තදබදය වළක්වා ගැනීමේ අරමුණින් එම පුද්ගලයින් අතර පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවට වග බලා ගත යුතු ය.

එලෙස බලපත්‍ර ලත් ස්ථාන නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්ට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම එම කාර්යය අධීක්ෂණය සඳහා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ට හා පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට ද උපදෙස් දී තිබෙනවා.

මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ,  නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසයි.

Rate this item
(1 Vote)