April 18, 2024

වාසුටත් ආණ්ඩුව එපා වෙයි! විමල්ට කළ දේ චමල්ටත් කරන්න

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෙකු වන වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මේවන විට ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳ කළකිරීමකින් පසුවන බව වාර්තා වනවා.

ඒ අනුව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ආණ්ඩුවට අවුල ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කළේය.

වත්මන් ආණ්ඩු බලය හොබවන සන්ධානය නියෝජනය කරන සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ඇතිකර තිබෙන තත්ත්වයන් යුක්තිසහගත නැති බවද ඇමතිවරයා සඳහන් කරනවා.

විමල් වීරවංශ මහතාගේ යටතේ තිබූ පොස්පේට් සමාගම අලාභ ලබන තත්ත්වය සිට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබියදී එය ඉවත් කිරීම කුඩා පක්ෂ මත ඇති කරන ලද පීඩනයක් හා සිත් රිදවීමක් යැයිද ඇමතිවරයා අවධාරණය කරනවා.

චමල්ගේත් තටු කපන්න

කෘෂිකර්මයට පොහොර අවශ්‍ය නිසා පොස්පේට් සමාගම තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නම් ඒ අර්ථයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ බවත් එනිසා දැනට චමල් රාජපක්ෂ මහතා යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා පැවරිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.

ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතා පළ කළ නොහැකි බවයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සහන ලබාදිය යුතු පාර්ශ්වවලට අදාළ සහන ලබාදෙමින් එම තීරණය ගත යුතුව තිබූ බව ඔහු පැවසුවා.

"සන්ධානය ඇතුළේ කුඩා පක්ෂ හැටියට අපිට මුහුණ දෙන්න වෙන යම් යම් පීඩනයන් තියෙනවා. එකක් තමයි ගම්මන්පිල ඇමතිතුමාට කරපු දෝෂාරෝපණය. ඊළඟට විමල් වීරවංශ ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ එතුමා වැඩිදියුණු කරපු අංශයක් වෙන් කිරීම ඒ වගේම පීඩනයක්." යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 06:44