April 26, 2024

ගිලන් රථ සේවකයන් වැඩ වර්ජනයකට සූදානම්

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කොරෝනා එන්නත් කුප්පි 30ක් සොරකම් කිරිමේ සිද්ධිය සම්බන්ද කඩිනමින් අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා එහි ඇත්ත නැත්ත රටට හෙලිකල යුතු බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා සුව මිතුරු වෘත්තිය සමිතිය පවසනවා.

එසේ නොමැති වුවහොත් ජුලි මස 07 වැනි දින දකුණු පළාතේ ගිලන්රථ රියදුරන් හා සෞඛ්‍ය කාර්ය සහායකයින් ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට තින්දු කොට ඇති බැව් මෙම වෘත්තිය සමිති පවසනවා.

මෙකි සිද්ධිය සම්බන්දව ගිලන්රථ රියදුරකුට හා සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකුට අභුත ලෙස චෝදනා එල්ල කොට ඇති බවත් එය වහා නිවැරදි කරන ලෙස හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටින බවද මෙකි වෘත්තිය සමිති  නියෝජිතයින් පවසනවා.

දකුණු පළාත් මාධ්‍ය මධ්‍යස්ථානයේ දි මෙකි වෘත්තිය සමිතිවල නියෝජතයින් විසින් කරණු ලැබු එකාබද්ධ මාධ්‍ය හමුවකදි මේ බව සදහන් කළා. දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් සේනක විජේනාත් මහතා මෙසේ කීවා.

"මෙකි සිද්ධිය සම්බන්දව ගිලන් රථ රියදුරකු හා සෞඛ්‍ය කාර්ය සහායකවරයකු පිළිබද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හබරාදුව පොලිසියට පැමිණිල්ලක් කර තියෙනවා. මේ අය කරලා තියෙන්නේ අදාල ස්ථානයට කොරෝනා එන්නත් රැගෙන යාම හා ඉතිරි එන්නත් නැවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන එම පමණයි. එන්නත් ප්‍රවාහනය කිරිම පමණයි. මෙම දෙදෙනා විශ්‍රාම යාමට ආසන්නය ඉන්න අය. මෙම දෙදෙනාට අපහාසයක් තමයි කරලා තියෙන්නේ. ගිලන්රථ රියදුරු හා සෞඛ්‍ය කාර්ය සහායකවරයා වගකිමක් නෙවෙයි එන්නත් භාරව කටයුතු කිරිම. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා මෙකි වහා නිවරදි කළ යුතුයි. එන්නත් නැතිවෙලා තියෙන්නේ 02 වැනි දින නමුත් පොලිසියට පැමිණිලි කරන්නේ දින 13කට පසු 16 වැනිදා. මෙකි එන්නත් සොරකමේ ඇත්ත කථාව රටම දැන ගත යුතුයි."

ගිලන් රථ රියදුරු රංජිත් අල්ගෙවත්ත මහතා මාධ්‍ය හමුවේදි මෙසේ පැවසුවා.

"මෙකි සිද්ධිය සම්බන්දව මට හා සෞඛ්‍ය කාර්ය සහායකවරයාට විරුද්ධව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පොලිසියට පැමිණිල්ලක් දමා තියෙනවා.  එන්නත් අපිට භාරදිලා නැහැ. මෙය අපිට අයත් රාජකාරියක් නොවයි. එන්නත්  භාරව ඉන්නේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය අපි නිර්දෝෂියි."

සෞඛ්‍ය කාර්ය සහායක නිහාල් අබේසිංහ මහතා මෙසේ පැවසුවා.

"මෙම එන්නත් සම්බන්දව වගකිම අපිට පවරලා නැහැ. අපි කළේ එන්නත් බහාලුම පටවාගෙන යාම විතරයි. කිසිදෙයක් ලිඛිතව කළේ නැහැ. අපි කළේ එන්නත් බෑම හා පැටවිම පමණයි. මෙ සිද්ධිය නිසා අපිට අපහාසයක් වෙලා තියෙන්නේ."

දකුණු පළාත් සෞඛ්‍ය සේවා සුව මිතුරු වෘත්තිය සමිතියේ සභාපති දර්ශන ප්‍රදිප් මහතා මෙසේ පැවසුවා.

"එන්නත් සොරකම් කිරිම සිද්ධිය සම්බන්දව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වලා මෙහි ඇත්ත නැත්ත වැරදිකරුවන් කවුරුද කියා රටට හෙලි කළ යුතුයි. මේ ගැන අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටිනවා."

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

Rate this item
(0 votes)