March 29, 2024

මෙරට පැවැත්වූ විභාගයක් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ විභාගයක් සම්බන්ධ ආන්දෝලනාත්මක වාර්තාවක් සති අන්ත පුවත්පතක් විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඒ, 2019 වසරට අදාළ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අයත් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) විභාගය පිළිබඳව යි.

අදාළ වාර්තාවෙන් අනාවරණය කරන්නේ මෙම විභාගය පවත්වා වසර දෙකක් ගතව ඇතත් මෙතෙක් එහි ප්‍රතිඵල නිකුත් කර නොමැති බවයි.

වසර දෙකක් තිස්සේ ප්‍රතිඵල නිකුත් නොකිරීමේ සිදුවීමක් මෙලෙස වාර්තා වන්නේ විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමුවරට බව යි එහි අවධාරණය කොට ඇත්තේ.

අදාළ විභාගයට මෙරට සිසු සිසුවියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මුහුණ දී ඇති බව සඳහන්.

එම සිසු සිසුවියන්ගේ දෙමාපියන් අදාළ පුවත්පත වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම විභාගය වැරදි තාක්ෂණික උපදෙස් මත ඔන්ලයින් ක්‍රමයෙන් පවත්වන්නට ගොස් බරපතළ තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බවයි.

එමෙන්ම ඒ හරහා ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්වලින් කොටසක් මැකී අතුරුදන්ව ඇති බවටත් ඒ හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කරගත නොහැකි වී ඇති බවටත් ඔවුන් චෝදනා නගනවා.

මේ අතර මෙම චෝදනාව පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කොට ඇත්තේ තාක්ෂණික දෝෂ කතාව අසත්‍යයක් බව යි.

අදාළ විභාගයේ ප්‍රතිඵල පමාවූයේ කොවිඩ් වසංගතය නිසා බවත්, ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කළ හැකිවෙතැයි තමා අපේක්ෂා කරන නමුත් එය සිදුකරන දිනයක් පැවසිය නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ විභාගයට මුහුණ දුන් සිසු සිසුවියන්ගේ මව්පියන් පවසන්නේ 2019 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට පසුව පැවැත්වූ විභාග රැසක ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට කටයුතු කර ඇති බැවින්, එම දෙපාර්තමේන්තුව කොවිඩ් වසංගත තත්ත්වයට මුවා වී සත්‍යය වසන් කරන බවයි. 

මෙම ප්‍රතිඵල පමා කිරීම තවදුරටත් සිදු වුවහොත් ඊට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තමන් සූදානම්ව සිටින බව යි දෙමාපියන් අවධාරණය කරන්නේ.

Rate this item
(5 votes)
Last modified on Sunday, 20 June 2021 11:44