March 29, 2024

නාමල් ගම්මන්පිලට එරෙහි වෙයි

ටැබ් පරිගණක යන්ත්‍ර පාසල් සිසු සිසුවියන් වෙත ලබාදීමේ වැඩසටහනක් ළඟදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

ඔහු පවසන්නේ සහනදායී ක්‍රමයට මෙම ටැබ් ලබා දෙන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “ඉ-තක්සලාව“ වැඩසටහන සමඟ එක්ව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

ඩේටා නොමිලේ

නොමිලේ ඩේටා (Data) ද ලබා දීමේ වැඩසටහනක් මෙහි දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවත්, ඒ හරහා දරු දැරියන්ට ‘Online’ අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යෑමේ හැකියාව මෙම ටැබ් පරිගණක මගින් ලැබෙන බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

තව ද ඔහු වැඩිදුරටත් පැවසූවේ ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු අසරණ පවුල්වල පාසල් දරු දැරියන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ප්‍රදානයක් වශයෙන් ලබාදීමටද සැලසුම් කර තිබෙන බවයි.

මෙලෙස ටැබ් යන්ත්‍ර සිසුන් වෙත ලබා දෙනු ලබන්නේ, ඒවායේ නිෂ්පාදිත පරිගණක කොටස් මෙරටදී එකලස් කර නිෂ්පාදනය කරමින් බවත් ඒ හරහා මෙරට ටැබ් පරිගණක යන්ත්‍ර එකලස් කර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තද ආරම්භ වී තවත් පිරිසකට රැකියා අවස්ථා හිමිවන බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වෙන වැඩ බෑ

මෙම ටැබ් පරිගණක මඟින් ප්‍රවේශ විය හැක්කේ පාසල් විෂය නිර්දේශවලට අදාළ අධ්‍යාපන කටයුතුවලට පමණක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඉන් පරිබාහිරව කිසිදු දෙයකට සම්බන්ධ විය නොහැකි ආකාරයට මෙම ටැබ් පරිගණක යන්ත්‍රවලට විශේෂිත වූ මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙන බව ද ඔහු පැවසුවා.

ඉස්සර වඳ ටැබ් දැන් හොඳ ටැබ්

සුවිශේෂී කරුණ වන්නේ පාසල් සිසුන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීමේ වැඩසටහනක් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ද හඳුන්වා දීමට උත්සහ දැරූව ද නාමල් රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් රජය නියෝජනය කරන කඳවුර එවකට විපක්ෂයේ සිට අදාළ වැඩසටහනට දැඩි සේ විරුද්ධ වීම යි.

විශේෂයෙන් වත්මන් රජයේ අමාත්‍යවරයෙකු ද වන උදය ගම්මන්පිල මහතා එවකට කියා සිටියේ ටැබ් පරිගණක ලබා දීම මගින් සිසුන්ගේ සෞඛ්‍යයට ද හානි වීමේ ඉඩකඩ පවතින බවයි.

මෙම පරිගණක හරහා විකිරණ සහ තරංග පිටවන බවත් ඒ හරහා පිරිමි ළමුන්ගේ ශුක්‍රාණුවල ජීවකාලය අඩු වී, ශුක්‍රාණු කැබලි වී වඳභාවය ඇති වීමට ඉඩ ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔහු එවකට මෙලෙස ද පවසා සිටියා.

“සහරාන්ගේ ප්‍රහාරයෙන් මියගියේ 259යි. තුවාළ ලැබුවේ 500යි. හැබැයි අකිල විරාජ්ගේ මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් රෝගීන් බවට පත් වෙන්න, අනාගත පරපුර වඳ වීමේ අවදානමක් මතුවෙනවා. මෙය ඍජුවම මහාපරිමාණ ජන සංහාරයක්”

Rate this item
(0 votes)
Last modified on Friday, 18 June 2021 18:54