April 25, 2024

ලාංකික බෝට්ටු 2කට ඉන්දීය නාවික හමුදාවෙන් අමානුෂික ප්‍රහාරයක්

ඉන්දීය නාවික හමුදාව විසින් මෙරට ධීවරයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

වත්තල, දික්ඕවිට වරායෙන් බහුදින යාත්‍රා දෙකක් ඔස්සේ පිටත්ව ගිය ධීවරයින් පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

මෙම ධීවරයින් පිරිස පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 07 වැනි දා වන අතර ඔවුන් අද (17) දින යළි දික්ඕවිට වරායෙන් ගොඩබිමට පැමිණියා.

ප්‍රහාරයට ලක් වූ ධීවරයින්ගෙන් තිදෙනෙකු දික්ඕවිට වරායේ සිට මීගමුව රෝහල වෙත රැගෙන ගියේ ගිලන් රථ මගින්.

දික්ඕවිට වරායේ සිට නාවික සැතපුම් 700ක් පමණ දුරින් පිහිටි, ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් සිටි තමන් වෙත ඉන්දීය නාවික හමුදාවේ නෞකාවක් ලඟා වූ බවත්, කිසිදු අනතුරක් නොකරන බවට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඔවුන් පැවසූ බවත් පසුව සිය යාත්‍රාවන්ට ගොඩ වූ නාවික භටයින් පැය ගණනාවක් තමන්ට පහර දුන් බවත් ධීවරයින් පවසනවා.

එලෙස පහරදෙමින් මත්ද්‍රව්‍ය හෝ චන්ද්‍රිකා දුරකතන පවතින්නේ ද යනුවෙන් ඉන්දීය නාවික හමුදා භටයින් විමසා සිටි බව පවසන පහර කෑ ධීවරයින් වැඩිදුරටත් සඳහන් කළේ, තමන් ධීවර රැකියාවට පැමිණි බවට ප්‍රකාශ කළ ද ඔවුන් දිගින් දිගටම තමන් හට පහර දුන් බවයි.

ධීවරයින් ප්‍රකාශ කරන්නේ තුවක්කු බඳින් සහ බැටන්පොළුවලින් දැඩි අමානුෂික ලෙසින් ඔවුන් පහර දුන් බව යි.

එමෙන්ම ඇතැම් ධීවරයින් ගැටගසා මුහුදෙහි ගිල්වමින් වධ බන්ධනයට ලක් කළ බව ද ඔවුන් අනාවරණය කරනවා.

මෙම පහර දීම සම්බන්ධයෙන් මෙරට බලධාරීන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කොට නොමැති අතර පහර කෑ ධීවරයින් ගණන 13ක් බව වාර්තා වෙනවා.

එමෙන්ම මෙම ධීවරයින් සතුව ජාත්‍යන්තර මුහුදෙහි මසුන් ඇල්ලීමට අවශ්‍ය බලපත්‍ර ද පවතින බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 June 2021 20:06