April 25, 2024

ගම්මන්පිලට හදිසි කැදවීමක්! කැබිනට් මාධ්‍ය හමුවටත් නෑ

සුපුරුදු පරිදි  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(15) පැවැත්වුණා.  

එහිදී පළමුවෙන්ම මාධ්‍ය හමුව ආරම්භ කිරීමට ප්‍රමාද වීම ගැන කණගාටුව පළ කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළා.

විශේෂත්වය වූයේ කැබිනට් මාධ්‍ය හමුවට සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය හමුවට සහභාගී නොවීමයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාධ්‍ය හමුවට සහභාගී සිටියා.

ඒ පිලිබඳ මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කරන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් කරුණු විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා පැවසූවේ ගම්මන්පිල අමාත්‍යවරයා මෙවැනිම රැස්වීමකට හදිසියේම සහභාගී වීමට ගොස් ඇති නිසා මෙම මාධ්‍ය හමුවට සහභාගී නොවන බවයි.

ඉන්ධන මිල ඉහල නැංවීම පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ අර්බුදයක් ඇතිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාටයි. නමුත් කැබිනට් මණ්ඩලය ගත් සාමුහික තීරණයක් හේතුවෙන් එය එක් අමාත්‍යවරයෙකු ගත් තීරණයක් නොවන බවයි ආණ්ඩු පාර්ශවයෙන් සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා සියලු කරුණු පිළිබඳව හෙළිදරව් කරමින් සඳහන් කළේ ජනපති අගමැති ප්‍රමුඛ ජීවන වියදම් අනු කමිටුව විසින් මෙම තීරණය ගත් බවයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා සම කැබිනට් ප්‍රකාශක ලෙස ආණ්ඩුවේ මතය සහ නිල කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කරන මෙම මාධ්‍ය හමුවට සහභාගී නොවීම කාගේත් අවධානයට ලක්වූ කරුණක්.

ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවට නොපැමිණියාද? එසේ නොඑන්නැයි කවුරුන් හෝ නියෝග කළාද? ඊට පිළිතුරු දිය හැක්කේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට පමණි.

Rate this item
(0 votes)

Related items