April 25, 2024

බැසිල් ගහපු ප්ලෑනක් වැරදිලා නැහැ: විමල් පිලේ ප්‍රධාන පලුව ගැලවේ

පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම්ට ප්‍රතිචාර දක්වමින් එම පෙරමුණේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12 විකල්ප එකමුතුව අත්සන් කළ ලිපියේ සුවිශේෂී කරුණක් දක්නට තිබෙනවා.

ඒ ඊට අත්සන් තැබීම විකල්ප කණ්ඩායමේ සිටින ප්‍රධානතම පාර්ශවය විසින් මඟ හැරීමය.

අත්සන් ගත් රැස්වීමට සාමාජිකයන් 12න් 11යි

"ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය වගකීම බලශක්ති ඇමතිගේ කර මත පැටවීමේ වෑයම හෙලා දැකීම" යන ශීර්ෂ පාඨය යටතේ නිකුත් කොට ඇති මෙම ලිපියට අත්සන් තැබීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේ පැවති රැස්වීමට පැමිණ තිබෙන්නේ විකල්ප කණ්ඩායමේ පක්ෂ 12න් 11ක් පමණි.

එම ලිපියට අපේ ජන බල පක්ෂය , ජාතික නිදහස් පෙරමුණ , ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ , ලංකා සම සමාජ පක්ෂය , කොමියුනිස්ට් පක්ෂය , ජාතික කොංග්‍රසය , එක්සත් මහජන පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය යන පක්ෂ නමය අත්සන් තැබූ අතර ඊට ප්‍රශ්නයට මුහුණ දුන් ජාතික පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අමාත්‍යවරයා සහ පක්ෂයක් නොවන සංවිධානයක් වන යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් අත්සන් තබා තිබුණේ නැහැ.

අත්සන් නොකළ පාර්ශව රැස්වීමට

එහෙත් ඔවුන් දෙදෙනාද සිය පක්ෂ හා සංවිධාන නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වී සිටියා.

මෙම කණ්ඩායම මෙම ලිපියට අත්සන් කළේ තෙල් මිල වැඩි කිරිමෙන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව හැඟී යන හෙයින් එහි වගකීම බාරගෙන බලශක්ති අමාත්‍ය ධූරයෙන් විෂයභාර උදය ගම්මන්පිල අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වමින් පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ප්‍රසිද්ධියට පත් කළ ලිපියට පිළිතුරු ලෙසයි.

ප්‍රධානම බලවේගය නැහැ

එම රැස්වීමට විකල්ප කණ්ඩායමේ ප්‍රධානතම පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි නොවීම කැපී පෙනෙන්නක්.

එනිසාම අදාළ අදාල ලිපියට ශ්‍රීලනිපය වෙනුවෙන් අත්සන් තැබුණේද නැහැ..

බැසිල් කළ ඉල්ලීම

මීට පෙර ශ්‍රීලනිපයේ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලය සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයෙන් ඉල්ලා සිටියේ පක්ෂ 12 විකල්ප කණ්ඩායමත් සමග ගනුදෙනු නොකරන ලෙසයි.

ඕනෑම ප්‍රශ්නයක් තිබේ නම් තමා සමග සෘජුව කතා කරන ලෙසද ඊට වේලාව දීමට හා සවන්දීමට මීට පෙර මෙන්ම ඉදිරියේදීද ඕනෑම විටෙක තමන් සූදානම් බවයි එම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිප ප්‍රබලයින්ට දැනුම් දුන්නේ.

කිහිප දෙනෙක් යනවාට කැමති නැහැ

ශ්‍රීලනිපය නියෝජනය කරමින් මෙතෙක් මෙම විකල්ප කණ්ඩායමේ රැස්වීම් වලට සහභාගි වූයේ එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වන අතර ඒෂියන් මිරර් ඒ සම්බන්ධයෙන් මහා ලේකම්වරයාගෙන් කරුණු විමසීමක්ද කළා.

ශ්‍රීලනිපය තුළ සිටින ඇතමුන් එම සාකච්ඡාවට තමන් සහභාගි වීම සම්බන්ධයෙන් කැමැත්තක් නොදැක්වීම නිසා ඊට සහභාගි නොවූ බවයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 June 2021 21:19