March 29, 2024

ආණ්ඩු අර්බුද මැද පිල් මාරුවක්! මන්ත්‍රී පිරිසක් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට සූදානම්

තෙල් මිල වැඩි වීමත් සමඟ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වන්නැයි කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයත් සමඟ ආණ්ඩු අර්බුදයක් මතුව ඇතැයි දේශපාලන කරළියේ කතා බහක් ඇතිව තිබෙනවා.

මේ අතර සමඟි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආණ්ඩුව අභ්‍යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්නරවා නිකුත් කළ නිවේදනය තුළින් පිටතට විසිවී තිබෙන බවයි.

වත්මන් ආණ්ඩුව විසින් තුන්බියට හසුවූ විශාලාවක් බවට මේ රට පත්කොට ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ රට නැවත ගොඩ නැගීමට හැකි කණ්ඩායමකට රට භාර දී ඉල්ලා අස්වීම බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් සමඟි ජන බලවේගය තුළද මේවන විට අර්බුද රාශියක් හට ගෙන තිබෙනවා. ඒ සමඟි ජන බලවේගයේ පාර්ශවයක් වූ පාඨලී චම්පික රණවක මහතා වෙනම දේශපාලන ගමනක් යාමට සූදානමක් පවතින බවට චෝදනා එල්ල වීමත් සමඟයි. ඒ අතර තුර 43 සේනාංකය නමින් විද්වත් සංවිධායක් පිහිටුවා ගනිමින් දේශපාලන ගමන වෙනමම ආරම්භ කිරීමට පාඨලී චම්පික මන්ත්‍රීවරයා මේවන විට කටයුතු කර තිබෙනවා.

මේ අතර එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ අහිංසක ජනතාවගේ පීඩනය තව දුරටත් පීඩාවට පත් කරන්නේ නම් ඒ පිළිබඳ 23 වෙනිදා පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ අවධානයක් යොමු කරන බවයි.

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය තුළ ජාතිකත්වය රටේ ජාතික ප්‍රශ්න පිළිබඳව, ජාත්‍යන්තරය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය තීන්දු කළේ මේ ප්‍රශ්න වලට මුහුණ දිය හැකි එකම රාජ්‍ය නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ගමනත් සමඟ විපක්ෂයේ භූමිකාවේ වෙනසක් ඇති වනු ඇතැයි මත පළ වන අතර එනිසා විපක්ෂය තුළද අර්බුදයක් හට ගෙන ඇතැයි වාර්ත වනවා.

මේ අතර සමගි ජන බලවේගයට සහය දැක්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 16 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අද (14) එක්වූ බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පවසනවා.

ගම්පොල නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනෙක්, මහනුවර මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ උඩ පළාත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බවයි එජාප මහලේකම්වරයා සඳහන් කළේ.

මහලේකම්වරයා පෙන්වා දෙන්නේ ගම්පොල නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එක් එක්ව සිටින බවයි.

මෙලෙස එක් වූ මන්ත්‍රී පිරිස ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තම තීරණය පිළිබඳ කරුණු හෙළි කිරීමට නියමිතයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේ දී නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වීම සඳහා ඉල්ලීම් කර ඇතැයි වාර්තා වනවා.

එම ඉල්ලීම් පිළිබඳව මේ දිනවල සලකා බලමින් සිටින බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Rate this item
(3 votes)
Last modified on Monday, 14 June 2021 20:36

Related items