March 28, 2024

ඔන්ලයින් ඔස්සේ මත්පැන් ගෙදරටම?

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට මේ දක්වා අවසර ලබා දී නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. එස්. ගුණසිරි මහතා පවසනවා.

එහෙත් ඒ සඳහා ඉල්ලීම් ලැබෙමින් පවතින බවයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ.

විශාල වශයෙන් පාරිභෝගිකයින්ගෙන්, සුපර් මාකට් වලින් සහ නිෂ්පාදකයින්ගෙන් එලෙස ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව මේ වනවිට අදාළ බලධාරීන් සමග සාකච්ජා කරන බවත් පුළුල් සංවාදයකින් පසුව ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළා.    

සංචරණ සීමා හේතුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 600ක පමණ බදු ආදායමක් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පහුගිය කාලය පුරාම පැවැති සංචරණ සීමා හේතුවෙන් මත්පැන් හල් වසා තැබීමට ගත් තීරණයත් සමගම විශාල වශයෙන් නීතිවිරෝධී මත්පැන් පැතිර යමින් පවතින බවත් නීතිවිරෝධී මත්පැන් ජන ජීවිතයට විශාල බලපෑමක් ලක්කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙනවා.

"ලෝකයේ හැමදෙයක්ම අද ඔන ලයින් ක්‍රමයට විකිණීමේ හැකියාව තියෙනවා. නියාමනය අපි හැදිය යුතුයි. සුරාබදු ආඥා පනතේ වෙනස්කම් කළ හැකි නම් ඒවත් අපි බලන්න ඕනේ. ඒවත් බලලා යම් පුළුල් සංවාදයකින් පස්සේ ඒ පිළිබඳව යෝජනාවක් අපි මුදල් අමාත්‍යංශයට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දක්වා තවම අවසරයක් දීලා නෑ. දළ වශයෙන් රුපියල් මිලියන 600ක විතර බදු ආදායමක් මේ වනවිට අපිට අහිමි වෙනවා." යැයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.

Rate this item
(0 votes)