April 20, 2024

පොහොට්ටු ලේකම්ගේ ලියුම ගැන විමල් පිළ ගත් අමුතු තීන්දුව

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී ඊයේ (13) පැවැති පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12 කණ්ඩායම් රැස්වීමේදී එක් තීන්දුවක් පමණක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

තෙල් මිල වැඩි කිරීමේ වගකීම ගෙන විෂයභාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු බවට පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මාධ්‍යයට නිකුත් කොට තිබුණු නිවේදනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ තිබුණු බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පක්ෂ 9 ක් අත්සන් කළ යෝජනාව

එම සාකච්ඡාවේදී පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියට විරෝධය දක්වමින් ගෙන ආ යෝජනාවට අත්සන් තැබීමට තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඊට එම රැස්වීමට සහභාගි වූ පක්ෂ හා සංවිධාන 9 ක නියෝජිතයින් අත්සන් තබා තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

අවධානය යොමු කළ කරුණු

මෙම ලියුම නිකුත් කිරීමට සාගර කාරියවසම් මහතාට උපදෙස් දුන්  චරිතය කවුරුන්ද යන්න දැනටමත් හඳුනාගෙන හැකි හෙයින් කිසිදු පදනමක් නැති මෙවැනි ලියුමක් නිකුත් කිරීමේ හේතුව කුමක්ද යන්න පිළිබඳව හා එම ලිපිය හරහා සිය කණ්ඩායමට ලැබුණු වාසි අවාසි පිළිබඳවද විශේෂ අවධානය යොමු කොට තිබෙනවා.

ලියුම පිටුපස සිටින අදාළ චරිතය අපේක්ෂා භංගත්වයට පත් වීම හේතුකොටගෙන මෙවැනි ලිපියක් නිකුත් කිරීමට පොහොට්ටු මහලේකම්ට උපදෙස් දුන් බවයි බහුතරයකගේ පොදු අදහස වී තිබෙන්නේ.

ලියුම ගැසීමට හේතුව

12 විකල්ප කණ්ඩායම මුල්වී වරාය නැගෙනහිර ජැටිය විකිණීම නතර කිරීම , වරාය නගර පනත් කෙටුම්පත සංශෝධනයන්ට ලක් කිරීම ආදී කරුණු මත ලියුම ගැසීමට උපදෙස් දුන් චරිතය බරපතළ අපේක්ෂාභංගත්වයට ලක්ව තිබීම පිළිබඳවද එහිදී කතා බස් වී තිබෙනවා.

සිය කණ්ඩායම ලැබූ ජයක්

මෙම සිද්ධියෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට වාසිදායක තත්ත්වයක් උදා වූ බවත් එය සිය කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක් බවට ද එහිදී අදහස් ප්‍රකාශ වී තිබෙනවා.

මෙම රැස්වීමේ විශේෂත්වය වන්නේ මෙතෙක් මෙම කණ්ඩායමේ රැස්වීම්වලට සහභාගි වූ 12 විකල්ප කණ්ඩායමේ සාමාජික පක්ෂ තුනක් සහභාගී නොවීම වන අතර ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වීමයි..

Rate this item
(1 Vote)
Last modified on Monday, 14 June 2021 15:49