April 24, 2024

දිලුම්, අලි රොෂාන්, සුදත්ත හිමිගේ අලි වැඩේ ගැන අලි ඇමති සියල්ල වමාරයි

වවුනියාව පුදුර් ප්‍රදේශයේදී මසකට වඩා කාලයක් ප්‍රතිකාර ලබමින් සිට මිය ගිය දළ ඇතාට ප්‍රතිකාර කිරීමට එතැනට ගිය පිරිස අතර අලි සිද්ධියකට සම්බන්ධ පැමිණිලිකරුවන් හා විත්තිකරුවන් යන දෙපාර්ශවයම එකට සිටිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි වන ජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අවධාරණය කරන්නේ.

නීතිවිරෝධීව අලි ඇතුන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන ජීවී දෙපාර්තමේන්තුව විසින්ම නඩු රැසක් පවරා ඇති නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් එතනට ගිය ආකාරය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා තොරතුරු හෙළිදරව් කරනවා.

දිලුම් ආවේ ජනපතිගේ කීමට

දිලුම් අමුණුගම බස් පිලිබද රාජ්‍ය අමාත්‍යවරයා එතනට ගියේ ජනපතිගේ උපදෙස් අනුව බව කියන දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අලි රොෂාන් හා දිලුම් අමුණුගම අතර සම්බන්ධයත් තිබෙනවාදැයි තමාට පේන්නේ නැති බවත් පෙන්වා දෙනවා.

මාගල්කන්දේ සුදන්ත හිමිද එතැන සිටි බවත් ඇතා සුවපත් කළ හැකි වෙද්දු ඉන්න බව සඳහන් කරමින් උන්වහන්සේ අවස්ථාවක් ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කරනවා.

මටත් ඔය ගැන සැකයක් තිබුණා

එහෙත් තමාට ඒ සම්බන්ධයෙන් සැකයක් තිබූ නිසා වෙන කවුරුවත් ගෙන්වීමට නොහැකි බවද දැනුම් දුන් බව කියන රාජ්‍ය අමාත්‍යවරයා වෙන කිසිවකු එතනට ගෙන්වන්නේ නැති බව සඳහන් කළ බවයි හෙළිදරව් කරන්නේ.

ඒ නිසා ඇතා ජීවත් කරන්නටත් බැරි නම් සුව කරන්න පුළුවන් යැයි කියන අයත් ඉන්නවනම් පුළුවන්නම් ඒකට අවස්ථාවක් දෙන්න කියා තමා වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක් කළ බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

කොවිඩ් - 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට සුදත්ත හිමියන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ.

අලි රොෂාන් ආවේ අහවලා එක්ක

තමාට දැනගන්නට තිබෙන ආකාරයට අලි රොෂාන් පැමිණ තිබෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේම පුද්ගලයකු සමග බව පෙන්වා දෙන දිසානායක මහතා වනජීවි දෙපාර්තමේන්තුවත් සමග නඩුවක් තිබෙන විත්තිකරුවකු සමග ගණුදෙනුවක් කරන්න සදාචාරාත්මක හෝ නිත්‍යානුකුල අයිතියක් වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිවෙකුටත් නොමැති බවයි පෙන්වා දෙන්නේ.

පරිසරවේදීන්ගේ මතය

මේ අතර පරිසරවේදීන් චෝදනා කරන්නේ වනජීවී නිලධාරීන් යටතේ සිටි ඇතාට පිටස්තර පාර්ශවයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සහභාගි සහභාගී වීමට අවස්ථාව දීම නීති විරෝධී බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 14:51