April 17, 2024

(EXCLUSIVE) මම කාගෙවත් පැත්තෙ නැහැ: මම ඉන්නේ හරි පැත්තේ - රාජ්‍ය ඇමතිගේ අමුතු කතාව

තෙල් මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තමා සිටින්නේ කාගේවත් පැත්තේ නොව හරි පැත්තේ බව අජිත් නිවාඩ් කබ්රාල් මුදල් , වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ඒෂියන් මිරර් වෙත සඳහන් කරනවා.

තෙල් මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය ඉතා නිවැරදි බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා එම තීරණය ගනු ලැබූ ජීවන වියදම් පිළිබඳ ඇමැති අනු කමිටු රැස්වීමේ තමාද සිටි බව තහවුරු කරයි.

තෙල් මිල වැඩි කළ කමිටුවේ තීරණය

එම තීරණය බලශක්ති අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා තනිවෙන් ගත් තීන්දුවක් නොව ජනපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යවරයාද වන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජීවන වියදම් අනු කමිටුව විසින් ගත් තීරණයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා තහවුරු කරන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තෙල් මිල වැඩි කිරීමේ වගකීම ගම්මන්පිල අමාත්‍යවරයා භාරගෙන ඔහු එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

මෙවර සිදු සිදුවූ එකම වෙනස

මෙතන සිදු වූ එකම වෙනස වන්නේ මීට පෙර ඉතිහාසයේ තෙල් මිල ගණන් වැඩි කළ අවස්ථාවල එය රටට ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශය වන අතර මෙවර එය බලශක්ති අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා විසින් සිදු කිරීම පමණක් බවද තමාද ඒ සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ නියෝජනය කරමින් එක් වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.

එනිසා තෙල් මිල ගණන් වැඩි කිරීමේ වගකීම බලශක්ති අමාත්‍යවරයා වෙත පැවරීම පදනමක් නැති ප්‍රකාශයක් මෙන්ම එසේ තෙල් මිල ගණන් වැඩි කිරීමේ බලයක් බලශක්ති අමාත්‍යවරයාට නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තෙල් මිල තීරණය කිරීමේ වගකීම

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ තෙල් මිල ගණන් වැඩි කිරීමේ ක්‍රියා පිලිවෙත මුදල් අමාත්‍යංශය හා ඒ යටතේ පවතින මහා භාණ්ඩාගාරය සතු කාර්යභාරයක් බවයි.

එනිසා ජනතාව අපහසුතාවයට පත්කරමින් තෙල් මිල ගණන් වැඩි කිරීමේ වගකීම භාරගෙන උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට තමන් ද නියෝජනය කරන පොදු ජන පෙරමුණ මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කළේ කුමන පදනමින්ද යන්න තමන්ට තේරුම් ගත නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 11:29