April 19, 2024

ජවිපෙ ආණ්ඩුවක් තිබුණා නම් කරන දෙයක් ගැන ටිල්වින්ගෙන් ඉඟියක් (VIDEO)

මේ මොහොතේ දී ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් තිබුණේ නම් කුමක් කරන්නේද යන්න පිළිබඳ එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් පළ කළා.

ඒ, පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී ඔහු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වන අතරතුර මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින්.

“වැරදිලා හෝ ජවිපෙ ආණ්ඩුවක් තිබුණේ නම් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් කුමක් කරන්නේද” යනුවෙන් අදාළ මාධ්‍යවේදියා විමසා සිටියා.

ටිල්වින් සිල්වා මහතා පිළිතුරු ලබා දීම ආරම්භ කළේ, “වැරදිලා හරි කියන්නෙ ඇයි? අපි ආණ්ඩුවක් හැදුවොත් වරදිනවද?” ලෙස පෙරළා ප්‍රශ්ණයක්ම අසමින්.

රටට වගකිවයුතු ආණ්ඩුවක් තිබුණේ නම් අමාත්‍ය ධූර දැරිය යුත්තේ එක් එක් අමාත්‍යංශයට අදාළ විෂයයන් පිළිබඳ දැනුම ඇති අය මිස, මුදල් ඉලක්ක කරගත් පිරිසක් නොවන බව ඔහු අවධාරණය කළා.

වර්තමාන වරාය කටයුතු අමාත්‍යවරයාට වරාය සහ නාවික කටයුතු පිළිබඳ ඇති දැනුම කුමක්දැයි ටිල්වින් සිල්වා මහතා ප්‍රශ්ණ කොට සිටියා.

එමෙන්ම වරාය සම්බන්ධයෙන් පත් කළ සභාපතිවරයා ද හිටපු හමුදා සාමාජිකයෙකු බවත්, ඔහු ද වරාය, නෞකා සහ නාවික භාණ්ඩ පිළිබඳව කිසිත් නොදන්නා බව ඔහු පෙන්වා දුන්නා.

ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ සෑම දෙයම දන්නා පිරිස් ආණ්ඩුවේ නොසිටින්නට ඉඩ ඇති නමුත් ඒ ඒ ක්ෂේත්‍රයන්හි දැනුම ඇති පුද්ගලයින්ගෙන් වැඩ ගත යුතු බවයි.

මේවන විට සාගර සහ නාවික නීති පිළිබඳ දැනුමක් ඇති නීති කණ්ඩායමක් හෝ මෙරට සතුව නොමැති බව ඔහු පවසනවා.

ඇතැම් විට ආණ්ඩුවට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ද ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තම පෙරමුණෙහි ආණ්ඩුවක් පැවතියේ නම් අදාළ ක්ෂේත්‍රය පිළිබඳව හොඳින්ම දැනුම ඇති පුද්ගලයින් සමග කටයුතු කිරීම අංක එකෙහි ලා සලකන බව ඔහු අවධාරණය කළා.

එමෙන්ම තම ආණ්ඩුවක් බලයේ පැවතියේ නම්, ගිනිගත් නෞකාවෙන් ආර්ථික ලාභයක් ඉපයීම පිළිබඳ කල්පනා නොකරන බවත්, නැව පැමිණීමට පෙරම එය නිවීමේ හැකියාවක් අප රට සතුව පවතින්නේදැයි විමසා බලන බවත් ඔහු පැවසුවා.

නෞකාව නිවීමේ හැකියාව නොමැති නිසා ඉන්දියාව සහ කටාර් රාජ්‍යය මෙය භාර නොගත් බව ද සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, නෞකාවට වතුර ගසා නිවීමේ හැකියාව ඇති බව සිතූ මෙරට පාලකයින් නෞකාව ගෙන්වාගත් බවයි.

බොහෝවිට සිදුවිය හැක්කේ ආණ්ඩුව ගිනිගත් නැවෙහි ගැටළුවට අතගැසීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ කිසිදු වන්දි මුදලක් හිමි නොවීමේ ඉඩ ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 23:14