April 25, 2024

පාර්ලිමේන්තුව අද රැස්වෙයි - රිෂාඩ් සහ ප්‍රේමලාල් මැතිසබේට

පාර්ලිමේන්තුව අද(08) පෙරවරුවේ රැස් වනවා. 

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සතියේදී එක් දිනක් පමණක් පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමටයි ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ. 

ඒ අනුව අද දිනයේදී පාර්ලිමේන්තු සැසි වාරය පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මූල්‍ය කළමණාකරණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ යෝජනා හා ආනයන අපනයන රෙගුලාසි විවාදයට ගැණෙනවා.

එමෙන්ම අද මධ්‍යහ්න 12 සිට පස්වරු 4 දක්වා විපක්‍ෂය විසින් ගෙන එනු ලබන, රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි. 

අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සදහා කාලය වෙන් නොකෙරෙන අතර දිවා ආහාරය සදහා සභාව කල් තැබීමක්ද සිදු නොවනු ඇති.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු සිදුකෙරෙන වන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සදහන් කළේ. 

රිෂාඩ් සහ ප්‍රේමලාල් මැතිසබේට

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් මහතා සහ ප්‍රේමලාල් ජයසේකර මහතා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව කටයුතු කරමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලිපියක් මගින් දන්වා ඇතැයි වාර්තා වනවා.

මීට අමතරව බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාව ද පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට කථානායකවරයාගේ නියෝගය ඇතුළත් ලිපිය ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා.

මේ අනුව පවත්නා කොවිඩ් අවදානම හමුවේ මන්ත්‍රීවරුන් දෙපළම පාර්ලිමේන්තුවට කැඳවා ගෙන ආ යුත්තේ දැනට රජය විසින් පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පමණක් බවයි වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 07:35

Related items