April 25, 2024

එළවලු කිලෝ ලක්ෂ 100ක් දඹුල්ලට (PHOTOS)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ අද (30) දින අලුයම වන විට එළවළු කිලෝ ලක්ෂ සියයක් පමණ දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා තම නිෂ්පාදන විශාල වශයෙන් ගොවීන් රැගෙන ඒම සිදු කළ ද එළවළු මිල ද අද (30) දින පෙරවරු වන විට ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව වෙළෙන්දෝ මෙන්ම ගොවීන් ද පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (29) දින මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු අලෙවි කිරීම සඳහා ගොවීන් මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වෙළෙන්දන් පැමිණ සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.

අලුයම 5.00ට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පැමිණ තිබූ එළවළු ලොරි ආර්ථික මධ්‍යස්ථානය තුළට ඇතුළත් කර ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු වීමද විශේෂත්වයකි.

මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් ගණනාවක් යනතුරු දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. එක් පසෙකින් එළවලු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරික ප්‍රජාව ගේ රථවාහන වලින් මෙන්ම එළවළු අස්වැන්න රැගෙන එන ගොවීන්ගේ රථ වාහන වලින් මාර්ගයේ දැඩි තදබදය දැකගැනීමට හැකිවිය.

ඇතැම් ගොවීන් සහ ව්‍යාපාරිකයන් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගැනීමට පවා යන ආකාරය දැක ගැනීමට හැකි වූයේ එතරම් වාහන තදබදයක් පැවතීම නිසාවෙනි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත අද (30) දින උදෑසන වන විට කැරට්, බෝංචි, මාළු මිරිස් ආදී  කිලෝවක තොග මිල රුපියල් 200 ඉක්මවා පැවැති අතර පහතරට එළවළු වර්ගද රැසක මිල රුපියල් 100-150 ඉක්මවා තිබීම විශේෂත්වයකි.

ව්‍යාපාරිකයන් එළවළු මිලදී ගැනීමකින් තොරව ආර්ථික මධ්‍යස්ථානයේ රැදී  සිටිනු ලැබුයේ ඉහළ මිළ ගණන් වලට එළවළු මිල දී ගෙන තම ප්‍රදේශවලට ගොස් නිවෙස් වලට එළවළු ලබා දීමට මෙම මිලට නොහැකි බව පවසමිනි.

එම නිසා සාධාරණ මිලක් ලැබෙන තුරු බලා සිටින බව ඔවුන් අප සමග පැවසූහ. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ නියෝජිතයින් කියා සිටියේ පෙරවරුවේ එළවලු මිල ඉහළ ගිය ද දහවල් වන විට මිලෙහි විශාල පහත් වැටීමක් සිදු වෙන බව ය.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)