April 20, 2024

විවෘත කරනවා යැයි කියූ ආර්ථික මධ්‍යස්ථානය වසා දමලා (PHOTOS)

රජයේ නිවේදන හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විකුණන්න මිලදී ගන්න ආපු සියලු දෙනාටම අද (29) උදෑසන නැවත හැරී යාමට සිදුවූ බව ගොවීන් මෙන්ම තොග වෙළෙන්දෝ පවසති.

ඉකුත් දින රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයන් වලදී ආර්ථික මධ්‍යස්ථාන දින තුනක කාලයක් තොග වෙළෙඳ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විවෘත කරන බවට කරන ලද ප්‍රකාශය සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (29) උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් එළවළු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික පිරිස් මෙන්ම එළවළු සහ පලතුරු ගොවින්ද තම නිෂ්පාදන රැගෙන පැමිණ තිබුණද දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තිබුණු බව ඔවුහු පවසති.

දඹුල්ල විශේෂිත ආර්ථික  මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාවට කම්කරුවන්ට සහ සේවකයන්ට එන්නත ලබා දීමේ වැඩපිළිවෙළ අද (29) දිනට ද ක්‍රියාත්මක වීම නිසා ආර්ථික මධ්‍යස්ථානය මෙදින විවෘත කිරීමට නොහැකි බව වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී.ඒකනායක මහතා ඒෂියන් මිරර් අප කළ විමසීමකදී පැවසීය.

ආර්ථික මධ්‍යස්ථානය හෙට (30) සහ අනිද්දා (31) යන දින දෙක තුළ විවෘත කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ව්‍යාපාරිකයන් සහ ගොවීන් පැමිණ පැය කීපයක එහි රැඳී සිටි අතර ඇතැම් ව්‍යාපාරිකයෝ ගොවීන්ගේ එළවළු එම ස්ථානයේදී ම ඔවුන් රැගෙන ආ තරාදි වලින් කිරා මිලදී ගන්නා අයුරු දැකගැනීමට හැකි විය.

ඇතැම් ව්‍යාපාරිකයන් මෙම තීන්දු තීරණ ගන්නා බලධාරීන්ට දැඩි දෝෂාරෝපණ ලක් කරමින් පිටව යන්නට වූහ. තින්දු තීරණ ගැනීම සහ ඒවා ප්‍රචාරය කිරීම පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් දුරබැහැර ප්‍රදේශවලින් ඉතා වියදම් අධික ව ප්‍රවාහන බලපත්‍ර ලබාගෙන ආර්ථික මධ්‍යස්ථාන වෙත ළඟා වීමෙන් පසුව මෙවැනි තත්ත්වයන් උදා වීම නිසා ආර්ථික අතින් පමණක් නොව මානසික අතින්ද ව්‍යාපාරිකයන් කඩා වැටෙන බව ඔවුන් පෙන්වා දෙන්නට වූහ.

ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට එළවලු මිලදී ගැනීම සඳහා මෙන්ම එළවළු රැගෙන ආ ගොවීන් පිරිස ඉවත් කිරීමට පොලිසිය පියවර ගත් අතර වෙනත් ස්ථානයකට ගොස් එම එළවළු හෝ පලතුරු මිලදී ගැනීම් බාධාවක් නොවන ආකාරයෙන් සිදු කර ගන්නා ලෙස උපදෙස් ලබාදීමත් සමග පිරිස ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිටින් වෙනත් පහසු ස්ථාන සොයා පිටත් වන ආකාරයද දැක ගැනීමට හැකි විය.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 May 2021 14:35