April 25, 2024

ලංකාවට ඊසානදිගින් සුළි කුණාටුවක් වර්ධනය වෙයි

ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වභාවය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මෙම කැළඹිලි ස්වභාවය උතුරු අන්දමන් දූපත් ආශ්‍රිතව හටගෙන තිබෙනවා.

නිර්මාණය වීමට නියමිතව ඇති සුළි කුණාටුව හේතුවෙන් මෙරට බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට දැඩි වැසි ඇතිවිය හැකියි.

මෙම කැළඹිළි ස්වභාවය හෙට දිනයවන විට පීඩන අවපාතයක් දක්වාත්, අනිද්දාවන විට සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමට නියමිත බව සඳහන්.

මෙම සුළි කුණාටුව 26 වැනිදාවන විට ඉන්දියාවට ඇතුළු වීමට නියමිතවන අතර නැවත දැනුම් දෙන තුරු ඊසානදිග බෙංගාල බොක්ක, නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවලින් බැහැරවන ලෙසට යි කාලගුණ අංශ වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.

මේවන විට එම ප්‍රදේශවල යාත්‍රාකරමින් ඇති බෝට්ටු සහ අනෙකුත් යාත්‍රාවලට වහාම ගොඩබිම වෙත පැමිණෙන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් හරහා මුහුදු ප්‍රදේශවල තද සුළං හටගැනීමේ ඉඩ ඇති අතර මුහුද ක්ෂණිකව රළු විය හැකි බවට ද ඔවුන් පවසනවා.

එමෙන්ම සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසට නිරන්තර දැඩි වැසි ඇදහැළෙන බවත් සාමාන්‍ය වැසි තත්ත්වයක් උතුරු සහ උතුරු මැද පළාත්වලට ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

එමෙන්ම සවස හෝ රාත්‍රී කාලයේ ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ඇතිවිය හැකි බවට ද ඔහු පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 May 2021 19:12