April 20, 2024

බස්නාහිරින් පසු එන්නත් දෙන ප්‍රදේශ මෙන්න

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කර ඇති බවත් ඉන් අනතුරුව මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ආසාදිතයන් බහුල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශ තෝරා ගනිමින් ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසූවේ අද (14) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසීය.

අපි දැනට එන්නත්කරණය සිදු කරනු ලබන්නේ බස්නාහිර පළාතේ පමණයි. බස්නාහිර පළාතේ ලක්ෂ 11 ක ජනතාවක් අපි සම්පූර්ණ එන්නත්කරණයට භාජනය කර තිබෙනවා. කොවිඩ් රෝගය වැළැක්වීමට මුළු රටේම එන්නත්කරණය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ මිලියන 13 ක පමණ ජනතාවකට. මෙහිදී අවුරුදු 60 ට වැඩි මේ රටේ ජනගහනය වන මිලියන 2.3 කටත්, අවුරුදු 40-50 අතර ජනගහනය වන මිලියන 5.3 කටත්, අවුරුදු 30-40 ත් අතර මිලියන 3.3 ක් ජනගහනය ඉන්නවා. අවුරුදු 30 ඉහළ අයටයි එන්නත්කරණය සිදු කරනු ලබන්නේ.

බස්නාහිර පළාතේ එන්නත්කරණය අවසන් වුණාම නුවර, කුරුණෑගල, රත්නපුර දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්ක වල එන්නත්කරණය පටන් ගැනීමටත්, ඊට සමගාමීව අනෙක් දිස්ත්‍රික්කවලත් එන්නත් ලැබෙන ආකාරය අනුව එන්නත්කරණය සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ඇමතිවරිය සඳහන් කළාය.

Rate this item
(0 votes)