March 29, 2024

දඹුල්ලේ එළවළු මිලදී ගන්න රජය සූදානම් (PHOTOS)

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළට අද (14) දින ලැබුණු එළවළු තොග සියල්ල රජය මිලදී ගැනීමට තීරණය කළ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අග්‍රාමාතමාත්‍ය කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු රජයේ වගකිවයුතු අංශ සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහ නගර සභාව ආදී සියලු දෙනා සමග සාකච්ඡාවක් පවත්වා මෙම තීරණය ගත් බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ පහක්, හතත් අතර ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් නොපැමිණීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවට ලැබුණු වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කොට රජය මෙය කඩිනමින් තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දාහතර දින දවල් 12 සිට සම්පූර්ණයෙන්ම වසා දමා ලබන සඳුදා එනම් 17 දින පෙරවරු 5.00ට නැවත විවෘත කිරීමට මෙම පරිපාලන කණ්ඩායම තීරණය කළ බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග විශාල වශයෙන් රැගෙනවිත් තිබූ ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වෙමින් පෙරවරුවේ කියා සිටියේ තම අස්වනු මිලදී ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සිදු කරන ලෙසය.

පිට පළාත් වල වෙළෙන්දන් නොපැමිණීම නිසා මෙම බරපතල තත්ත්වය සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දෙන්නට විය. පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වහාම සියලු පාර්ශව එක්ව සාකච්ඡා කොට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්න් සමග සාකච්ඡා කොට අද (14) දින දිනයේ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබූ සියලුම එළවළු තොග වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේ මිලදී ගැනීම්ට එම එළවළු තොග යුධ හමුදා කඳවුරු වලට පුද්ගලික අංශ වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව ද එම කටයුත්ත දිස්ත්‍රික් ලේකම් හරහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථානයේ ලත වෙමින් සිටි ගොවීන් බොහෝ දෙනෙකු මෙම පණිවිඩය ශබ්ද විකාශන හරහා ප්‍රචාරය කිරීමත් සමග දැඩි සතුටට පත්වූහ.

එම ගොවීන් කියා සිටියේ ඉදිරි දින කිහිපය රට වසා දමා ඇති අවස්ථාවක තම අස්වැන්න නෙලා ගෙනවිත් විනාශවන්නට ගිය අවස්ථාවක රජය තමන්ගේ එළවලළු මිලදී ගැනීමට ගත් තීරණය බෙහෙවින් අගය කරන බවය.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)