April 20, 2024

දඹුල්ලේ ගොවීන් අසීරුවේ (PHOTOS)

සිල්ලර වෙළඳසැල  වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් අද (14) දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.

රට පුරා සංචාරය නීති පැනවීමත් සමග දඹුල්ල, මාතලේ, ගලේවෙල, කැකිරාව ආදී ප්‍රදේශවල පොලිස් හා යුධ හමුදා ආරක්ෂාව දැඩි කොට තිබේ.

ඊයේ (13) රාත්‍රියේ මෙම ප්‍රදේශ වලට පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් රාත්‍රී 11ට පෙර ම නගරය ජනශුන්‍ය වීම විශේෂත්වයකි.

අද (14) අලුයම වන විට යුද හමුදාව පොලීසිය එක්ව ප්‍රධාන මාර්ග බාධක යොදමින් අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන අයට හැර වෙන කිසිවෙකුට නගරවලට ඇතුළු වීමට ඉඩ හසර ලබා නොදීම විශේෂත්වයකි.

මහනුවර-යාපනය ඒ නමය මාර්ගය ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට අද (14) පෙරවරුවේ දර්ශනය විය. ඒ නමය ප්‍රධාන මාර්ගයේ ඇතැම් ස්ථානවල සුනඛයන් පවා නිදාගෙන සිටින අයුරු දැක ගැනීමට හැකිවන්නේ ඉතා කලාතුරකිනි.

පෞද්ගලික ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන කණ්ඩායම් ඔවුන්ගේ වෙළඳ නාමය පහළින් සඳහන් කොට රාජ්‍ය ලාංඡනය විශාල වශයෙන් පෙනෙන ආකාරයෙන් වාහනවල ප්‍රදර්ශනය කොට රාජ්‍ය ලාංඡනය අවභාවිතා කරමින් පොලිසිය ආරක්ෂක අංශ නොමග යවා ගමන් කරන අයුරු දඹුල්ල බුලාගල පොලිස් මුරපොළේ දී අනාවරණය වීම විශේෂත්වයකි.

ගෑස් අලෙවිකරණ කළමනාකරුවෙකු රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් රජයේ වාහනයක් ලෙස හුවා දක්වමින්  පෞද්ගලික වාහනයක් ගමන් කරමින් සිටියදී පොලිසිය ප්‍රශ්න කොට වහාම රාජ්‍ය ලාංඡනය ඉවත් කර කරගන්නා ලෙස ඔහුට උපදෙස් ලබා දීම සිදු කළහ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මෙදින විවෘතව පැවති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවීන් මෙදින එළවළු කිලෝ ලක්ෂ හතරහමාරක් පහක් අතර ප්‍රමාණයක් ගෙනවිත් තිබූ බව ව්‍යාපාරිකයෝ පවසති.

එහෙත් දහවල් වන තුරුම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට කිසිවෙකුත් පැමිණ නැති බව ගොවීහු  පවසති.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්දී  ඇත්තේ එළවළු තොග විකුණා ගැනීමට නොහැකි වුවහොත් මිලදී ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරා ඇති බව ජනමාධ්‍ය හරහා ප්‍රකාශ වූ බවත් එම නිසා තමන් අස්වැන්න නෙළා ගෙන ආර්ථික මධ්‍යස්ථානය ද රැගෙන ආ බව ගොවීන් කියති.

එහෙත් එවැනි මිලදී ගැනීමේ කටයුත්ත ක්‍රියාත්මක නොවන බවද ගොවීහු පෙන්වා දෙන අතර කඩිනමින් තම අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකසා දෙන්නැයි එළවළු ගොවියෝ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)