March 28, 2024

වෙළෙඳසැල් විවෘත කිරීම තහනම්! ලොක්ඩවුන් මැද පාරිභෝගික ද්‍රව්‍ය ගන්නේ මෙහෙමයි

මෙරට පවත්නා හදිසි තත්වය හමුවේ සෞඛ්‍ය අංශ මඟින් පනවා ඇති සෞඛ්‍යාරක්ෂක විධිවිධාන අනුව අද (13) මධ්‍යම රාත්‍රී 11 සිට එළඹෙන සඳුදා දින (17) අළුයම 04.00 දක්වා කාල සීමාව තුළ දිවයින පුරා සංචරණ සීමා පනවා ඇත.

මේ හේතුවෙන් කිසිදු වෙළෙඳසැලක් විවෘත කර නොතැබෙන අතර මහජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ගැටළුවකින් තොරව ලබා දීම සඳහා වන කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී ලබා ගන්නා තීරණ අනුව සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් තුළදී සියළුම සුපිරි වෙළෙඳසැල්, සිල්ලර වෙළෙඳසැල් මහජනතාවට වසා තැබෙනු ඇත. නමුත් පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය හා ආර්ථික මධ්‍යස්ථාන, අත්‍යවශ්‍ය තොග වෙළෙඳාම සඳහා පමණක් විවෘතව තැබීමට මෙහිදී තීරණය කරනු ලැබිණි.

එමෙන්ම මෙම දිනයන් තුළදී දිවයින පුරා සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් මහජනයාට වසා තැබීමට කටයුතු කෙරෙන අතර මෙම සාකච්ඡාවේදී තීරණය කරන ලද පරිදි මහජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණය දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කෙරෙනු ඇත.

ඒ සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා තවදුරටත් නිකුත් කිරීමට සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් හරහා කටයුතු සම්පාදනය කර ඇති අතර කිසිදු ලෙසකින් මහජනතාව සඳහා මෙම දිනයන්හිදී කිසිදු අලෙවිසැලක් විවෘත නොකෙරෙනු ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්ප ති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සංචරණ සීමා පනවා ඇති අද (13) රාත්‍රී 11 සිට ලබන සඳුදා (17) අලුයම 4 දක්වා කඩසාප්පු විවෘත කිරීම මුළුමනින්ම තහනම් බවයි.

එම කාලය තුළ ජනතාව සිය නිවෙස් තුළටම වී රැඳිසිටිය යුතු බවත් ගමනාගමනය සඳහා කිසිවකුට කිසිදු අවසරයක් නොමැති බවත් ඔහු බවයි ඔහු ප්‍රකාශ කළේය.

ගමනාගමනයට අවසරය ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් වන අතර රෝගීන්ට රෝහල් වෙත ගමන් කිරීමට හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඖෂධහලට ගමන් කිරීමට හැකියාව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ෆාමසි සඳහා ඩිලිවරි සේවා පවත්වාගෙන යෑම සඳහා අවසර ලැබෙන අතර, මේ දින තුන තුළ එවැනි කටයුතු හැර වෙනත් කිසිදු කටයුත්තකට නිවසින් පිටතට යාමට අවසර නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

ජාතික හැඳුනුම්පතේ අංක පිලිවෙලට පිටතට යෑමේ ක්‍රමවේදය මේ දින තුනට අදාළ නොවන අතර එය ලබන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)