April 18, 2024

ලොකුගේ සීමා ඉවත් කළ පිළියන්දල තත්වය දරුණුයි! දිනකට කොවිඩ් මරණ දෙකක් - පිළියන්දලට තහනමකුත් පනවයි

පිළියන්දල, කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දිනකට කොවිඩ් ආසාදිත මරණ 2ක් වාර්තා වීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඇතිව තිබෙන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

එම ආසාදිත මරණ ප්‍රමාණය ඉදිරි සතිය වන විට තවත් වර්ධනය විය හැකි බවත් දැඩි අනතුරුදායක තත්ත්වයක් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.

රජය සීමා පනවන තුරු සිටින්නේ නැතුව තමන් ගැන සිතා නිවෙස්වලටම වී සිටීම සිදු කළ බවත් එන්නත ලබාගත්තට එකෙන් ආරක්ෂාවක් ලැබෙන්න සෑහෙන කාලයක් යන බවත් පෙන්වා දෙන වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවත් කියා සිටියේය.

මේ අතර පිළියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය යටතේ මෙම පියවර ගත් බවයි.

පිළියන්දල පොලිස් බල ප‍්‍රදේශයේ මාම්පේ බටහිර සහ කොලමුන්න ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ද සම්පූර්ණයෙන් ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කර ඇත්තේ තමන්ගේ තීරණයක් අනුව නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබිණි.

එම හුදකලා බව ඉවත් කිරීමට මැදිහත්වූ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගෙන් මාධ්‍යයට අදහස් පළ කර තිබුණේ තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලින් විමසා සිටි බවත් බුද්ධි අංශ වාර්තාවලින් පවා කියා සිටියේ එම ප්‍රදේශය වසා දැමීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

ඒ නිසා තමන් ඉල්ලීමක් කළ බවත් සෞඛ්‍ය බලධාරීන් ඉන්පසුව තීරණය ගත් බවත් ප්‍රදේශයේ දේශපාලනඥයා ලෙස ජනතාවගේ සුබසිද්ධිය සහ පහසුකම් වෙනුවෙන් පෙනී සිටිමේ අයිතියක් තමන්ට ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

නමුත් මේවන විට ලොකුගේ අමාත්‍යවරයා පිළියන්දල ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා මැදිහත්වීමේ ප්‍රතිඵලයේ මහිමය දැන් වාර්තා වන රෝගීන් ප්‍රමාණය අනුව දැකගත හැක. 

Rate this item
(0 votes)