April 19, 2024

දඹුල්ලේ ඇගලුම් කම්හලක් වසා දමයි - 23කට කොරෝනා

කොවිඩ් වෛරසය ශරීර ගතවූ සේවක සේවිකාවන් රැසක් හමුවූ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමා එහි  සියළු සේවකයන් පි  පී ආර් පරීක්ෂණවලට යොමු කරන ලෙස  මාතලේ දිස්ත්‍රික් කොවිඩ් 19 මර්ධන කමිටු ප්‍රධානී මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතා ඊයේ (12) දින පස්වරුවේ උපදෙස් ලබාදී තිබේ.

පහුගිය දින කිහිපයේ මෙම පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් විසි තුන් දෙනෙකු වෛරසය ශරීරගත වූවන් ලෙස හඳුනා ගෙන තිබෙන බවත් වෛරසය ශරීරගත වූ සේවකයන් නව දෙනෙකු ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ රැඳී සිටින බවට සේවකයෝ පැවසූහ.

එවැනි වකවානුවක තිබියදී මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ  සේවකයන්ගෙන් සේවා ලබා ගැනීම සිදු කරන බවටද සේවකයන් 12 දින පස්වරුවේ චෝදනා කරන්නට වූහ.

ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ආකාරය මෙන්ම ආසාදිතයන් ඇසුරු කළ පිරිස් එළිමහනේ රඳවා තිබෙන ආකාරය පිළිබඳවත් එහි සේවකයෝ රූප රාමු ඡායාරූපගත කරමින් සමාජ මාධ්‍ය හරහා මුදාහැර තිබුණු අතර එහි පාලනාධිකාරිය සේවකයන්ට සාධාරණයක් ඉටු  නොකරමින් සේවා සපයා ගන්නා බවට ද ඔවුහු චෝදනා කරති.

පසුව අප මෙම ආයතනයේ වගකිව යුතු  නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව විමසීමට උත්සාහ ගනිද්දී එහි දුරකතනයට ඇමතුම ලබා ගත් සේවකයෙකු කියා සිටියේ වගකිවයුතු නිලධාරින් ඒ වන විට හදිසි රැස්වීමක සහභාගී වී සිටින බවය

වෛරසය ශරීරගත වූ සේවක සේවිකාවන් නව දෙනෙකු මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ රඳවාගෙන සිටින්නේ දැයි ප්‍රශ්න කිරීමේදී හෙතෙම එම තත්ත්වය පිළිගත්තද නැවත වරක් තොරතුරක් ලබා දෙන බව පවසමින් දුරකථතනය විසන්ධි කර දමන්නට විය.

එහෙත් අප දුර දුරකථන හරහා වෛරසය ශරීරගත වූ මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඇතුලත සිටින සේවිකාවකගෙන් විමසීමේ දී කියා සිටියේ එක් සේවකයෙකු සහ සේවිකාවන් අටදෙනෙකු  වෛරසය ශරීරගත වී කර්මාන්තශාලාවේ 12 දින සවස් වන විට එහි සිටි බවය.

මාතලේ කොවිඩ් 19 පාලන කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සිද්ධිය මේ වන විට තමා වෙත වාර්තා වී තිබෙන බවය.

කමිටුව කඩිනමින් අවධානය යොමු කොට මෙම කර්මාන්ත ශාලාවේ සේවා කටයුතු නවතා දමා වහාම ක්‍රියාත්මක වන් පරිදි සේවක සේවිකාවන්ගේ පි.සී.ආර් පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් ලබා දුන් බව පැවසීය.

කර්මාන්ත ශාලාවේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා එහි ගිය අපට එහි පාලන අධිකාරියේ ඉහළ නිලධාරීන් කිසිදු ප්‍රකාශයක් ලබා නොදී බස්රථ හරස් කරමින් ප්‍රධාන දොරටු වසා දැමීමට පියවර ගැනීම ද විශේෂත්වයකි.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 20:01