April 19, 2024

උණුසුම් වූ එන්නත්කරණ වැඩසටහන් (VIDEO)

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වන එන්නත බස්නාහිර පළාතේ ඉහල අවධානමක් සහිත ප්‍රදේශවල ජනතාවට කඩිනමින් ලබා දීම පසුගියදා ආරම්භ විය.

ඒ අනුව එහි තවත් අදියර කිහිපයක් අදත් ක්‍රියාත්මක විය.

චීනයෙන් ලැබුණු සයිනොෆාම් සහ රුසියාවේ නිපදවූ ස්පුට්නික් වී එන්නත මෙලෙස එන්නත්කරණයට යොදා ගැනිණි.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් වැඩපිළිවෙල දියත් වුයේ ත්‍රිවිධ හමුදාවේද සහය ඇතිවය.

කොළඹ, ගම්පහ සහ  කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක එන්නත් ලබා දීම සිදු කෙරිණි.

පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එම ප්‍රදේශයේ ජනතාවට එන්නත්කරණය සිදු කෙරෙන ආකාරය යුධ හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

කෙසේවෙතත් ස්ථාන කිහිපයකම එන්නත් ලබා ගැනීම සඳහා බලාපොරොත්තු නොවූ තරම් ජනකායක් පැමිණ සිටීමත් සමඟ නොසන්සුන් තත්වයන් නිර්මාණය විය.

මුල්ලේරියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පිරිස් සඳහා අද එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර තිබුණත් පැමිණ සිටි පිරිසට එන්නත එන්නත ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් උණුසුම් තත්වයක් හට ගත්හ.

කිරිබත්ගොඩ රෝහලේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුරද එන්නත් නොලැබීම නිසා පැමිණ සිටි පිරිස් නොසන්සුන් විය.

මේ අතර ගම්පහ සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පුද්ගලයින්ට එන්නත ලබා දීමේදී නොසන්සුන් තත්වයක් හට ගත්තේය.ඒ එන්නත ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියත් එන්නත් ප්‍රමාණය අවසන් වූ බවට සෞඛ්‍ය බලධාරීන් පැවසීමත් සමඟය.

එන්නත්කරණ වැඩසටහන් අතර දිගු පෝලිම් පවා දැක ගැනීමට හැකි වූ අතර නිසි සෞඛ්‍ය නීති පිළි නොපැද එකිනෙකා අතර මීටරයේ පරතරයද එහි නොවිය.

මේ අතර එන්නත්කරණයේදී රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස පවසා තිබුණද බොහෝ රාජ්‍ය නිලධාරීන් එන්නත ලබා නොගෙන නැවත හැරී පැමිණි බව අප වාර්තාකරුවන් පැවසිය.


Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 13:46