April 25, 2024

"අපි තවම තරුණ වයසේ ඇයි අපිව හැලුවේ" - හිටපු නායකයන් තිදෙනා ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා එක් දින ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් තමන්ව ඉවත් කිරීම සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න,දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ප්‍රශ්න කොට තිබේ.

ඒ ජේෂ්ඨ ක්‍රීඩකයන් වන ඔවුන් තිදෙනාම එළඹෙන බංග්ලාදේශය එක්දින තරඟාවලියෙන් ඉවත් කිරීම හේතු කොටගෙනය.

මේ තිදෙනාම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයන් වන අතර දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සිටි හිටපු නායකයාද වේ.

මේ වන විට කරුණාරත්න වෙනුවට කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස තේරීම් කමිටුව නම් කොට තිබේ.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් තමන්ගේ ඉදිරි දායකත්වය ලබාදීම පිළිබඳවද මෙහිදී ඔවුන් තේරීම් මණ්ඩලයෙන් කරුණු විමසා තිබේ.

තවමත් තමන් 30 වන විය ඉක්මවූ වයස් සීමාවේ සිටින බැවින් තව වසර කිහිපයක් එක්දින සහ 20-20 තරග සඳහා සහභාගි වීමට හැකියාව තිබෙන බව එහිදී දිනේෂ් චන්දිමාල් තේරීම් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කොට තිබේ.

බංග්ලාදේශ සමග බංගලාදේශයේදී පැවැත්වෙන එක් දින තරඟාවලියට සහභාගි වන ජාතික කණ්ඩායමට වයස අවුරුදු 30 ඉක්මවූ ක්‍රීඩකයකු පමණක් ඇතුළත් කොට තිබෙන අතර  ඒ 31වැනි වියේ පසුවන ඉසුරු උදාන තිලකරත්නය.

ඔහු එක්දින හා 20-20 තරඟ උඹලට උචිත අයුරින් පන්දු යැවීමේ දක්ෂයකු සේ සැලකේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කොට තිබෙන්නේ මෙම ක්‍රීඩකයන් තිදෙනාට තරුණ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කළ හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනයක් කළ යුතු බවත්ය.

එක්දින තරගයකදී ලකුණු 300ක් නොව 350 ක් රැස්කර ගැනීමට මෙන්ම ලකුණු 350ක් හඹා යාමේ හැකියාව ඇති ජවසම්පන්න,ක්‍රියාශීලී ක්‍රිඩකයන් පිරිසක් අවශ්‍ය බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

මේ වන විට 31 වන වියේ පසුවන දිනේෂ් චන්දිමාල් එක්දින තරග 149කට තරග කොට ලකුණු 3698 ක් ලබාගෙන සාමාන්‍ය 32.43 ක්ද රඳවාගෙන සිටි.

33 වැනි වියේ පසුවන දිමුත් කරුණාරත්න එක් දින තරඟ 34කට සහභාගිවී ලකුණු 767ක් ලබාගෙන සාමාන්‍ය 27.39 ක රඳවාගෙන සිටි.

එළඹෙන ජූනි මස 2 වැනි දින 34 වැනි වියට පා තබන  ඇන්ජලෝ මැතිව්ස්  එක්දින තරඟ 218 කට සහභාගි වී ලකුණු 5835 ක් රැස් කර ගෙන ඇති අතර සාමාන්‍ය 41.67 ක් වේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් දින ක්‍රිකට් තරඟයකට සහභාගී වන ක්‍රීඩකයෙකුට එක් තරඟයක් සඳහා රුපියල් ලක්ෂ 7කට ආසන්න මුදලක් ගෙවනු ලැබේ.

ඒ හැරුණුකොට ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේදීද ටෙස්ට්,එක්දින හා 20 - 20 යන සියලු කාණ්ඩවලට ක්‍රීඩා කිරීම වැඩි වැටුපක් ලැබීමටද හේතු වේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 May 2021 11:15