April 24, 2024

නිශාරා ජයරත්න ගැන අලුත්ම පුවතක් : තනතුර ව්‍යාජයි - අමුතුවෙන් ඉවත් වෙන්න දෙයක් නෑලු

අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුව තුළ දැරූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී ධූරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී ධූරය දප්පුල ද ලිවේරා මහතාගේ පෞද්ගලික සම්බන්ධකම් මත ව්‍යාජ ආකාරයට නිර්මාණය කරන ලද තනතුරක් ලෙස නීතිපති දෙපාර්මේන්තුව අභ්‍යන්තරයෙන්ම ප්‍රකාශ වීම හේතුකොටගෙනය.

මැයි 24 වැනි දින නීතිපති ධූරයෙන් සමු ගැනීමට නියමිත දප්පුල ද ලිවේරා මහතා සිය ප්‍රසිද්ධිය තකා නිර්මාණය කරන ලද නිතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර නීතිපති කාර්ය මණ්ඩල තනතුරක් නොවීම නිසා එම ධූරය ස්වභාවිකවම බල රහිත වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

2019-5-21 දින දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධුරයට පත්වීමත් සමඟ වසර 136 ක නීතිපති දෙපාර්තමේන්තුව ඉතිහාසය තුළ නොතිබූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී යයි හඳුන්වන තනතුරක් සිය පුද්ගලික උවමනාව මත නිර්මාණය කළ බව නීතිපති දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර සඳහා රාජ්‍ය වැටුප් හා සේවක සංඛ්‍යා කමිටුව විසින් කිසිදු ආකාරයක අනුමැතියක් හෝ නිර්දේශයක් නීතිපතිවරයාට ලබාදී නොතිබුණු බවද දැන් හෙළිදරව් වී තිබේ.

නිශාරා ජයරත්න මහත්මියගේ මෙම පත්වීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තුළ නිහඬ විරෝධතාවයක් තිබූ බවද මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ.

රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ හා කළමනාකරණ සේවා චක්‍රලේඛ වලට අනුව සිදු කළ යුතු අතර ඒ පිළිබඳව ප්‍රසිද්ධ දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලත් අයෙකු පත් කළ යුතු මුත් ඒ පටිපාටියෙන් බැහැර නිශාරා නිෂාරා ජයරත්න මහත්මිය එවැනි තනතුරකට පත්කිරීම පිළිබඳව පත්වීමට නියමිත නව නීතිපතිවරයාගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ  අධිකරණ තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වේ.

එළඹෙන මැයි 24 වැනි දින නීතිපති දප්පුල ද ලිවේරා මහතා එම තනතුරින් ඉවත්ව යද්දී තමන්ද නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුරින් ඉවත් වන බව නිශාරා ජයරත්න මහත්මිය මේ වන විටත් ප්‍රකාශ කොට තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 May 2021 11:49