April 25, 2024

ත්‍රිපෝෂ නිෂ්පාදනය නතරවන ලකුණු

ළදරුවන් සහ ගර්භණී කාන්තාවන්ට අතිරේක පෝෂණ ආහාරයක් ලෙස රජයෙන් ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වෙනවා.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු‍ මෙට්‍රික් ටොන් 2500ක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන්. 

පාලන මිල ඉක්මවා බඩඉරිඟු අලෙවි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව සඳහන්. 

බඩ ඉරිඟු‍ ලබා ගැනීම සඳහා ටෙන්ඩර කැඳවා ඇතත් ලැබී ඇති මිල ගණන්වලට අනුව කිලෝ ග්‍රෑමයක් රුපියල් 75 ඉක්මවන අතර බඩඉරිඟු‍ ලබා ගැනීමේ පාලන මිල රුපියල් 65ක් වනවා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කර ඇති බඩඉරිඟු‍ ද කිලෝ ග්‍රෑමයක් රුපියල් 75කට ලබාදිය හැකි බව එම දෙපාර්තමේන්තුව හා ත්‍රිපෝෂ සමාගම කළ සාකච්ඡාවකදී දැනුම් දී තිබෙනවා. 

මේ හේතුවෙන් සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්දෙන් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගොවි සංවිධාන සමග සාකච්ඡා කර ගොවීන් ගබඩා කර ඇති බඩඉරිඟු‍ මිලදී ගෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය ආරම්භ කරන බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසනවා. 

එමෙන්ම ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු අනාවරණය කරන්නේ සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්දෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ සහ තදාසන්න ප්‍රදේශවල ත්‍රිපෝෂ බෙදා හැරීම විධිමත්ව සිදුවූවත්, ගම්බද ප්‍රදේශවල නිසි පරිදි බෙදා දීමට ප්‍රමාණවත් ත්‍රිපෝෂ නොලැබුණු බව යි.

මේ අතර ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ සේවකයන් කිහිපදෙනකුට කොවිඩ් වැලඳීම ද නිෂ්පාදන කටයුතු නතර වීමට තවත් හේතුවක් වූ බව ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 20:19