March 29, 2024

අද රාත්‍රියේ සිට පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවද යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. 

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණ සීමා පැනවීමට ජනාධිපතිවරයා විසින් ඊයේ (10) නියෝග කර තිබුණි.

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

ඒ අනුව,

  • සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට
  • පිරිස් එක්රැස් වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමට
  • වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමට
  • ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනකිරීමටත් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

මේ අතර අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ පළාත් අතර සංචරණය සීමා කර ඇති විට අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවයි.

එවැනි පුද්ගලයින් නීතිවිරෝධි කටයුත්තක් සිදුකරන අය සේ සලකා නිරෝධායන නීතිය යටතේ ද නීතිය ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන අජිත් රෝහණ මහතා අද මධ්‍යම රාත්‍රී 12 සිට පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබීමෙන් පසු අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සෑම පළාත් මායිමක් අසලම පොලිස් නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇතැයි ද ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පළාත් මායිම්වල සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ සේවය ඉටුකිරීමට ජනතාවගේ සහය උපරිමයෙන් බලාපොරොත්තු වන බවද සේවා ආයතන සඳහා පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේනමුත් යම් ප්‍රදේශයක් හුදකලා කර ඇත්නම් එම ප්‍රදේශයේ අයට සම්පුර්ණයෙන් ම සංචරණය තහනම් වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)