April 19, 2024

රට පුරා ග්‍රාම සේවා වසම් 100කට අධික ප්‍රමාණයක් ලොක්ඩවුන් - ඉදිරියේ දී රට වසා දැමීමේ වැඩි ඉඩක්

දැනට රට තුළ උද්ගතව ඇති තත්ත්වය රට කුමන හෝ මොහොතක වසා දැමීමට සිදුවනු ඇති බවට සෞඛ්‍ය අංශ විසින් සඳහන් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබුණේ මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බවයි.

ඊයේ (07) දිනයේ දී කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර සිටියේ අවශ්‍ය වුවහොත් ඇතැම් විට රට වසා දැමීමේ තීරණයකට වූවද යා හැකි බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද මීට පෙර පවසා තිබුණේ හැකි තරම් ඉක්මණින් සංචරණ සීමා පනවන ලෙසයි. එහිදී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දී තිබුණේ ඉතාම සීඝ්‍රයෙන් රෝහල් පිරි යමින් තිබෙන බැවින් අත්‍යයවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යමින් උපරිම සංචාරණ සීමා පනවන ලෙසයි.

රජයේ සෞඛ්‍ය පරික්ෂකවරුන් සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද අවධාරණය කර තිබුණේ මේ තත්ත්වය මත අවම වශයෙන් දින 7 ක කාලයක් වූ රට වසා දැමිය යුතු බවයි. එසේ කිරීමෙන් ආර්ථිකය කළමනාකරණය කරගෙන රෝගීන් සංඛ්‍යාව අඩුකරගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද සඳහන් කර සිටියේ රට වසා දැමීමක් සිදු වුවහොත් එයට මුහුණ දීම සඳහා පෙර සුදානමකින් සිටින ලෙසයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් හඳුනාගත් ග්‍රාම සේවා වසම් විශාල ප්‍රමාණයක් මේ දක්වා සංචරණ සීමා පනවා හුදකලා කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාමසේවා වසම් 100කට ආසන්න ප්‍රමාණයක් හුදෙකලා කර ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර වාර්තාවල සඳහන් වෙයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර ඇත.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ග්‍රාමසේවා වසම් ප්‍රමාණයක් හුදෙකලා කර ඇත්තේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ වන අතර එසේ හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරීන් වසම් වන්නේ දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත බටහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත, ගොරකාපිටිය, නාම්පමුණුව, පැළැන්වත්ත, හොන්නත්තර, දැල්තර, හල්පිට, කැස්බෑව, මාකන්දර, නිවුන්ගම, පොල්හේන, නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්ය.

මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල උතුර, පමුණුව, පමුණුව යන ප්‍රදේශයන් සංචරණ සීමා පනවා හුදෙකලා කර තිබේ. පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිලධාරී වසම ද මේ වන විට හුදෙකලා කර ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගර බල ප්‍රදේශය, වෙහෙරයාය, කොට්ටම්ගම්බොක්ක යන ග්‍රාම සේවා වසම්ද, සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ හෙළමුල්ල සහ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් ද සංචරණ සීමා පනවා තිබේ. එමෙන්ම එම දිස්ත්‍රික්කයේ ම බුත්තල පොලිස් බලප්‍රදේශයේ රහතන්ගම ග්‍රාම නිලධාරි වසම ද හුදෙකලා කර ඇත. 

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ‍පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම සහ කදිරාපුර ග්‍රාම නිලධාරි වසමද, උහන පොලිස් බලප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී වසමද මේ වන විට හුදකලා කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, දඹුල්ල, ගලේවෙල, මාතලේ යන පොලිස් බල ප්‍රදේශයන්ද, උකුවෙල පොලිස් බලප්‍රදේශයේ පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසමද මේ වන විට හුදකලා කර ඇති අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද වසා දමා තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ද ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් වසා දමා ඇති අතර ඒ අතර අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම්ද, රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුලගොඩ  සහ කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම්ද, හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ කොග්ගල 1,2, මීගහගොඩ, මාලියගොඩ සහ පියදිගම බටහිර ග්‍රාම සේවා වසම් ද හුදෙකලා කර තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ ඇලහැර පොලිස් බල ප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ද ග්‍රාම සේවා වසම් බොහෝමයක් හුදෙකලා කර ඇති අතර ඒ අනුව කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග, රණවිරු ධර්මසිරි මාවත, ඇල්දෙණිය නැගෙනහිර, සූරියපාලුව දකුණ, සූරියපාලුව උතුර, පහල කරගහමුණ උතුර සහ ඉහළ කරගහමුණ යන ග්‍රාම සේවා වසම් හුදකලා කර තිබේ.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ ම කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ පොල්හේන ග්‍රාම, හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම , කළුඅග්ගල ග්‍රාම නිලධාරි වසම්ද, වත්තල පොලිස් බලප්‍රදේ්ශයේ අල්විස් වත්ත ප්‍රදේශය කෙරවලපිටිය, වත්තල, හේකිත්ත, පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසමද හුදෙකලා කර තිබේ.

එමෙන්ම මහබාගේ පොලිස් බලප්‍රදේශයේ කෙරඟ පොකුණ, ගල්උඩුපිට, මත්තුමගල යන ග්‍රාම සේවා වසම්ද, මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමද, කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසමද මේ වන විට හුදකලා කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බ‍ලප්‍රදේශයේ පිඹුර ග්‍රාම නිලධාරි වසමද, මතුගම පොලිස් බලප්‍රදේශයේ යටියන බටහිර සහ යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ කොරටුහේන යන ප්‍රදේශයන්ද, දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරි වසමද, මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ, මාකලන්දාව, බෝතලාව කටුයකැලේ වැල්මීගොඩ සහ පැලවත්ත උතුර ග්‍රාම නිලධාරි වසම්ද, කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම නාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමේ විජිත යන ප්‍රදේශයන්ද, කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ විද්‍යාසාර ග්‍රාම නිලධාරි වසමේ බෝසිරිපුර කොටස සහ මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරි වසම් ද මේ වන විට හුදෙකලා කර තිබේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ බොල්ලුන්න, මිදලන, මෝරපිටිය, පැළෑද, හැඩිගල්ල, මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කර තිබේ. එමෙන්ම තීනියාවල පොලිස් බල ප්‍රදේශයේ තිනියාවල ග්‍රාම නිලධාරී වසමද, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ වලා‍න, වෑකඩ උතුර, මාලමුල්ල නැගෙනහිර, කිරිබේරිය, පිංවත්ත,  නාරම්පිටිය සහ පිංවත්ත බටහිර ග්‍රාම සේවා වසම් ද හුදකලා කර තිබේ.

බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසමත් මේ වන විට හුදෙකලා කර තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල පොලිස් බලප්‍රදේශයේ ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත පූම්පුහාර්, ඔර්ස් හිල්, මඩ්කෝ,කෝවිලඩි, ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර තිබේ. උප්පුවේලී පොලිස් බලප්‍රදේශයේ සුමේදගම්පුර, අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම්ද, චයිනා බේ පොලිස් බලප්‍රදේශයේ කවට්ටිකුඩා, චයිනා බේ ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ නිරාවිය, තිත්තවැල්ගම කුඹුක්ගැටේ, උඩුබදලව ග්‍රාම සේවා නිලධාරී වසම්ද, පන්නල, කුලියාපිටිය යන පොලිස් බලප්‍රදේශයන්ද, වැල්ලව පොලිස් බලප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාම නිලධාරි වසමද හුදෙකලා කර ඇති ප්‍රදේශයන්ට අයත්.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බලප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසමද, රක්වාන පොලිස් බලප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම, කලවාන පොලිස් බලප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසමද, ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයේ පල්ලේගම,  උඩගම, නවනගරය ග්‍රාම නිලධාරී වසම්ද, පනාමුර පොලිස් බලප්‍රදේශයේ වලල්ගොඩ, සුදුගල, පනාමුර යන පොලිස් බලප්‍රදේශයන්ද, වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයේ රත්ගඟ ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ පනන්ගම්මන, නෝවුඩ් පොලිස් බලප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි, හැටන් පොලිස් බලප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත, වලපනේ පොලිස් බලප්‍රදේශයේ නීලදණ්ඩාහින්න සහ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ රත්මැටිය යන ප්‍රදේශයන් ද හුදකෙලා කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරස්‍රය, වව්නියා දිස්ත්‍රික්කයේ පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසමද, යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකමම් මධ්‍යයම සහ උතුර යන ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කර තිබේ.

මෙම තත්ත්වය තව දුරටත් පැවතිය හොත් ඉදිරියේ දී රට වසා දැමීම සඳහා වැඩි ඉඩකඩක් ඇතිවනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 May 2021 14:01