April 25, 2024

"වෙනම ගමන් කතා එපා" - එස්.බී. ශ්‍රීලනිපයට අනතුරුව අඟවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මතභේදාත්මක මහ ලේකම්වරයෙකු වූ එස්.බී. දිසානායක මහතා මාධ්‍ය හමුවක් තබමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනතුරු ඇඟවීමක් කරන ලදී.

ශ්‍රීලනිපය තනිව ගමනක් යන බව කිහිප වතාවක් ප්‍රකාශ කළ බවත් දැනුත් ඒ දේ ප්‍රකාශ කරන බවත් පෙන්වා දුන් දිසානායක මහතා එම කතා කීම කල්පනාවෙන් කරන ලෙසට ශ්‍රීලනිපයට අනතුරු ඇඟවීමක් කළේ පොදුජන පෙරමුණ නොතිබෙන්නට අද ශ්‍රී ශ්‍රීලනිපයකුත් නැති බව සඳහන් කරමිනි.

එහිදී දිසානායක මහතා පොදුජන පෙරමුණ අපේ පොදුජන පෙරමුණ නමින් හඳුන්වමින් සඳහන් කළේ පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ සමග සන්ධානගත නොවූයේ නම් ශ්‍රීලනිපයට අත්වන ඉරණම දැකබලා ගන්නට තිබුණු බවය.

ශ්‍රීලනිපය පමණක් නොව පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ සිටින අනෙකුත් සන්ධානගත පක්ෂද විටින් විට විවිධ අදහස් ප්‍රකාශ කිරීම නොකළ යුතු බවද දිසානායක මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී.

2000 වර්ෂයේ මහ මැතිවරණයෙන් ජය ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පෙරලා දමා එම රජය වසරකින් ගෙදර යැවීමට මුල් වූයේ එවකට ශ්‍රීලනිපයේ මහලේකම් ධුරය දැරූ අද ශ්‍රීලනිපයට උපදෙස් දෙන එස් බී දිසානායක මහතා වීම විශේෂත්වයකි.

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩ කොට ඔහු පරාජය වූ විගස මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කඳවුරට එක් වූ දිසානායක මහතාව 2015 අගෝස්තු 17 මහ මැතිවරණයේදී ජනතාව මහනුවරින් පරාජයට පත් කරන ලදී.

එහෙත් එවකට ජනපති මෛත්‍රිපාල සිරිසේන ලවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට තමන්ව පත්කොටගෙන එජාපයත් සමග ශ්‍රීලනිපය හවුල්ව හැදූ යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධූරයකද දිසානායක මහතා හෙබවීය.

2015 මහ මැතිවරණය අවස්ථාවේ මහින්ද රාජපක්ෂට බැහැ නමින් පොතක් ලියා ප්‍රසිද්ධ කළේද එස්.බී.දිසානායක මහතාය.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 May 2021 08:26