April 16, 2024

මන්ත්‍රී රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න බාධාවක් නෑ - නීතිපති CIDයට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

මේ පිළිබඳ අද(05) පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා සඳහන් කළේ ඒ පිළිබඳ කතානායකවරයාට දන්වා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

එහිදී මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඒ පිළිබඳ කතානායකවරයාගේ අවධානයට යොමු කරන බවයි.

අද පාර්ලිමේන්තු විවාදයේදී ද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්වා නොගැනීම පිළිබඳ විපක්ෂයෙන් ප්‍රශ්න කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.

එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂාව කටයුතු පිලිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසූවේ රිෂාඩ් බදුදීන් මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වන බැවින් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තමන්ගේ ඉල්ලා සිටි බවයි.

එහිදී විපක්ෂය සමග ඇතිවූ සංවාදයේදී උණුසුම් තත්වයක් ඇති විය.

එසේ බදියුදීන් මහතාව පාර්ලිමේන්තුවට ගෙන ආවොත් ඔහු ලබාදෙන සාක්ෂි පිළිබඳ තොරතුරු එළියට යෑමට ඉඩ ඇති බැවින් තමන්ගෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අවස්ථාවේ ඊට විරෝධය පාමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම සමගි ජනබලවේගයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, චමින්ද විජේසිරි, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අදහස් දැක්වූ අතර දෙමළ ජාතික සන්ධානයේ එම්. සුමන්දිරන් මහතාද අදහස් පළ කරන ලදී.

Rate this item
(0 votes)