March 29, 2024

(EXCLUSIVE) විමලවීරට මේ ගැන අවබෝධයක් නැහැ - රතන හිමි

රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට අවබෝධයක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරයි.

කාබනික පොහොර පමණක් යොදා ගනිමින් කරන ගොවිතැන් කටයුතු වලින් පළමු කන්නයේදී රසායනික පොහොරවලින් ලබා ගන්නා අස්වැන්න ලබා ගැනීමට නොහැකි බවට ගෙන යන මතය අසත්‍යක් බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

නිසි ක්‍රමවේදයකට හා සැලැස්මකට අනුව කාබනික පොහොර යොදා කරන ගොවිතැන් කටයුතු වලින් රසායනික පොහොර යොදා ලබා ගන්නවාට වඩා අස්වැන්නක් ලබාගැනීමට හැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරයි.

උන් වහන්සේ මේ අදහස් පල කලේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීරණය විවේචනය කරමින් ඊට විරෝධය පෑ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මේ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී එම විෂයට අදාළ නොවුනද විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ කරුණ සම්බන්ධයෙන් සිය විරෝධතාවය දක්වා තිබුණි.

එම රැස්වීමේදී විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ එම මතය තහවුරු කරමින් තවත් මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම අදහස් දක්වා තිබේ.

රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කොට ඒ වෙනුවට කාබනික පොහොර යොදා ගැනීමේ ප්‍රතිපත්තිමය තීන්දුවකට මේ වන විට ජනපතිවරයා එළැඹ තිබේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද වගාවන්ට රසායනික යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන මහජන නියෝජිතයකු වන අතර උන්වහන්සේ කාබනික පොහොර යොදා කළ ආදර්ශ ගොවිපළවල් වලින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද මේ වන විට ආණ්ඩුවට සිය සහයෝගය ලබා දෙන අතර පක්ෂ 12 විකල්ප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු දැනගැනීමට ඊයේ (4) සහ අද (5) ඔහු සම්බන්ධ කර කර ගැනීමට ඒෂියන් මිරර් උත්සාහ ගත්තද එය සාර්ථක නොවූයේ රාජ්‍ය අමාත්‍යවරයා දුරකතන ඇමතුම් වලට පිළිතුරු නොදීම හේතුකොටගෙනය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 10:41

Related items