April 19, 2024

ආගන්තුක ඖෂධ වට්ටෝරු අත්හදා බලන්න එපා - අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමට හැකි බව කියමින් අන්තර්ජාලයේ පළවන ඖෂධ වට්ටෝරු අත්හදාබැලීමෙන් වළකින්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම්දීමක් කරයි.

කොවිඩ් වෛයිරස ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ විවිධ බෙහෙත් වට්ටෝරු සංසරණය වෙමින් පවතින බවත් එවැනි ආගන්තුක වට්ටෝරු අත්හදා බැලීම තුළින් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව එම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.

ආයුර්වේද ඖෂධ සකස් කිරීමේදී යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් උදාහරණයක් ලෙස ශාකයක පොතු යොදාගත යුතු අවස්ථාවක වෙනත් කොටසක් භාවිතා කිරීමෙන් ඖෂධයේ ගුණාත්මකබව නැති වන අතර ශරීරයට අහිතකර සංයෝගයන් පවා ඇතිවිය හැකි බව ඇය සඳහන් කළාය.

මෙම වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කළ හැකි ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධ වර්ග හා ප්‍රතිකර්ම වේ නම් ඒ ගැන ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු සහ ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද නිලධාරීන් මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ලේකම්වරිය සඳහන් කළාය.

ශරීර ප්‍රතිශත්තිය වර්ධනය උදෙසා දේශීය වෙදකම භාවිත කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය උපදේශ පිළිපදිමින් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Rate this item
(0 votes)