April 24, 2024

පෝට් සිටි විවාදය කල් යයි - ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට ලැබී නෑ Featured

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (05) දිනයේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ. 

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසූවේ ඒ වෙනුවට ඊයේ (04) දින ආරම්භ කරන ලද “රටේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (05) දිනයේ ද පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා තවදුරටත් පැවැත්වීමට තීරණය කළ බවයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙතෙක් කථානායකවරයාට නොලැබීම හේතුවෙන් මෙලෙස විවාදය අද නොපැවැත්වීමට තීරණය කළ බව දසනායක මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබුණු පසු මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

අද දිනයේද විවාදය පාර්ලිමේන්තුව දිවා ආහාරය සඳහා අත්හිටුවීමකින් තොරව පැවැත්වෙන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

පවතින කොවිඩ් -19 අභියෝගය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම මැයි 04 සහ 05 යන දෙදින තුළ පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.

Rate this item
(0 votes)

Related items