March 29, 2024

පිළියන්දල තවත් 72කට කොවිඩ්! යළි ලොක්ඩවුන් කිරීම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක් පිළියන්දලට

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණ 95කින් 72ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද උදෑසන පිළියන්දල සහ කැස්බෑව වෙත ගොස් එම ප්‍රදේශ යලි හුදකලා කිරීමට අවශ්‍ය දැයි පරික්ෂා කර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිතය.

ඊයේ දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 529ක් වාර්තා වෙද්දී පිළියන්දල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයින් 60දෙනෙකු වාර්තා වී තිබේ. එයි කොළඹ මහ නගර සීමාවේ හමුවූ ආසාදිතයින් 64 දෙනාගෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම දෙවැනි තැනට කොවිඩ් ආසාදිතයින් හමුවී ඇත්තේ පිළියන්දල බල ප්‍රදේශයෙනි. ඊට ආසන්න නගරය වන බොරලැස්ගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 47 දෙනෙකු හමුවී තිබේ.

මෙවැනි දැඩි අවදානම් පසුබිමක් තුළ පිළියන්ද පොලිස් බල ප්‍රදේශයට පැනවූ සංචරණ සීමා ඉවත් කිරීමට බලපෑම් කළ බවට කැස්බෑව ආසනය නියෝජනය කරන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාටයි. 

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ පිලියන්දල වසා දමන විට ප‍්‍රදේශයේ කිසිවකු ඒ ගැන නොදැන සිටි බවත් ඒ අනුව යම් ලිහිල් කිරීමක් කල හැකි දැයි තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවත්ය.

ප්‍රදේශයම වසා දැමූ විට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබූ බවත් පිළියන්දල නගරයේ රෝගීන් හමුවී නැති බවත් ඔහු අවධාරණය කළේය.

ඒ අනුව පෙනී යන්නේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පැනවූ සංචරණ සීමා ඉවත් කිරීමට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා බලපෑම් කළ බවයි.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ තමන්ගේ ඉල්ලීම වුයේ මුළු පිළියන්දල ප්‍රදේශයම හුදකලා කිරීම බවය.

තමාගේ දැනුවත් වීමකින් තොරව මෙලෙස පිළියන්දල ප්‍රදේශයේ එම සීමාවන් ඉවත් කර ඇති බවත් දැනටත් තමාගේ ඉල්ලීම වන්නේ විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමෙන් පමණක් බවත් වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය අවධාරණය කළේය.

 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ද සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කර ඇත්තේ තමන්ගේ තීරණයක් අනුව නොවන බවයි.

තමන් නිර්දේශයකින් තොරව එම හුදෙකලා කිරීම වෙනස් කර ඇති බවද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතු කොටගෙන හුදෙකලා කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ගාමිණී ලොකුගේ බලපෑම් කළේ නම් එය වැරදි ක්‍රියාවක් බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

රට තුළ දැඩි කොවිඩ් අවදානමක් පවතින අවස්ථාවක එය දේශපාලකයින්ට පිස්සු නැටීමට ඉඩ හැරීම වැරදි ක්‍රියාවක් බවත් මෙවැනි තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අංශ බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.

.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 03:42