April 23, 2024

පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීමට මගේ අනුමැතිය නෑ - ඇමැති ලොකුගේ බලපෑම් කිරීම වරදක් Featured

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ද සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කර ඇත්තේ තමන්ගේ තීරණයක් අනුව නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

තමන් නිර්දේශයකින් තොරව එම හුදෙකලා කිරීම වෙනස් කර ඇති බවද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතු කොටගෙන හුදෙකලා කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ගාමිණී ලොකුගේ බලපෑම් කළේ නම් එය වැරදි ක්‍රියාවක් බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන බලපෑමක් සිදුව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළ අතර එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ එවැනි දේශපාලන බලපෑමක් සිදුකිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බවයි.

ඔහු මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහනට එක් වෙමිනි.

පෙරේදා උදෑසන පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද පෙරේදා රාත්‍රීයේ එම තීරණය හදිසියේම වෙනස් කර තිබිණි.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ පිලියන්දල වසා දමන විට ප‍්‍රදේශයේ කිසිවකු ඒ ගැන නොදැන සිටි බවයි.

ඒ අනුව යම් ලිහිල් කිරීමක් කල හැකි දැයි තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවත් ඔහු ප්‍රසිද්ධීයේ පිළිගෙන තිබේ.

ප්‍රදේශයම වසා දැමූ විට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබූ බවත් පිළියන්දල නගරයේ රෝගීන් හමුවී නැති බවත් ඔහු අවධාරණය කරයි.

නමුත් අමාත්‍යවරයා පවසන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට එම ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් සුබසිද්ධිය වෙනුවෙන් තමන් පෙනී සිටීමට අයිතියක් ඇති බවත් තමන් ක්‍රියාත්මක කළේ අයිතිය බවත්ය.

ඒ අනුව පෙනී යන කරුණක් වන්නේ අමාත්‍යවරයා පිළියන්දල හුදකලා කිරීම ඉවත් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි.

නමුත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ තමන්ගේ ඉල්ලීම වුයේ මුළු පිළියන්දල ප්‍රදේශයම හුදකලා කිරීම බවය.

තමාගේ දැනුවත් වීමකින් තොරව මෙලෙස පිළියන්දල ප්‍රදේශයේ එම සීමාවන් ඉවත් කර ඇති බවත් දැනටත් තමාගේ ඉල්ලීම වන්නේ විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමෙන් පමණක් බවත් වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය අවධාරණය කළේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 05 May 2021 03:02