April 20, 2024

නීති රැසක් මැද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට විවෘතයි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍ය කොන්දේසි මත හෙට (05) සිට විවෘත කර තැබීමට අවසර ලබා දෙන බව කොවිඩ්  19  වසංගත පාලන මෙහෙයුම් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා 04 දින සවස දැනුම් දුන්නේය.

පැවැති වසංගත තත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්තානය පසුගිය 26 වන දින සිට මේ දක්වා හුදෙකලා කොට වසා දමා තිබිණි. මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසීරු අසීරුතාවයටකට පත්ව සිටියහ.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් පොලිසිය ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයින් ගොවිජන සේවා නිලධාරීන් කෘෂිකර්ම නිලධාරීන් මෙන්ම මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ, මහනගර සභාව, දිසාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු ආදී නිලධාරින්ගෙන් සමන්විතව පැවැති කමිටුවේ දී මෙම තීරණය ප්‍රකාශයට පත්කළේය.

මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය පළමු දින කිහිපය මාතලේ දිස්ත්‍රික්කයේ ගොවින්ගේ එළවළු අලෙවි කිරීම සඳහා විවෘත කිරීමට සිදුවන බවය.

එහෙත් දඹුල්ල නගරය තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවත්වා ගෙන යන බව සඳහන් කළේය. දේශීය එළවළු ගොවියාගේ අස්වනු විකුණා ගැනීමට නොහැකි බරපතළ තත්ත්වයක් උදාවීම නිසා මෙම තීරණය ගත් බවද පැවසීය. කෙසේ වෙතත් දඹුල්ලේ තවමත් බරපතළ ලෙස රෝගය පැතිර යෑමේ අවධානම පවතින බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළුවීම, එළවළු අලෙවි කිරීම ඇතුළත රැඳී සිටීම ආදී කරුණු පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් දඹුල්ල මහ නගර සභාව මගින් සෞඛ්‍ය අංශ ඒකරාශී වී සකසා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් පැමිණ සිටි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් හට එම දැඩි කොන්දේසි පිළිබඳව දැනුවත් කළ අතර ඒවා ලිඛිතව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.

ඒ අනුව නගරාධිපතිවරයා කියා සිටියේ තමන් සෞඛ්‍ය අංශ එක්ව මෙම නීති පිළිබඳව නිරන්තරයෙන් සොයා බලා කටයුතු කරන බවය.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් පළමු දින කිහිපය ආර්ථික මධ්‍යස්ථානයට සිය එළවළු අස්වැන්න අරගෙන එද්දී ග්‍රාම නිලධාරීවරයාගේ  කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරීවරයාගෙන් පදිංචිය තහවුරු කරන ලියවිල්ලක් රැගෙන ආ යුතු බව කමිටුව මගින් දැනුම් දීම ද විශේෂත්වයකි.

මෙම කමිටුවේදී වැඩිදුරටත් මේජර් ජෙනරාල් නිෂාන්ත මානගේ මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටින කම්කරුවන් ව්‍යාපාරිකයන් දින දාහතරකට වරක් තම පෞද්ගලික මුදලින් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කළ ගත යුතු බවය.

මෙම නීති රැසක් පනවා ඇත්තේ වෙන කිසිවෙකු නොව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් එම නිසා ව්‍යාපාරිකයන් ගොවියන් මෙන්ම ආර්ථික  මධ්‍යස්ථානයට පැමිණනෙන සියලු දෙනාම ස්වයං විනයක් ඇතිව කටයුතු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 18:50