April 20, 2024

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රජයට පුළුවන් - ඇමැති අනුරාධ

කොරෝනා රෝගයෙන් රෝගාතුර වන ඕනෑම කෙනෙකුට ප්‍රතිකාර කිරීමට රජයට හැකියාවක් තිබෙන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

ගම්පොළ නගරයේ යොවුන් සේනාංක මධ්‍යස්ථානය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා සොයා බැලීමට අනුරාධ ජයරත්න අමාත්‍යවරයා විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

එකවර රෝගීන් 360 දෙනකු සඳහා ප්‍රතිකාර කිරීමට හැකියාව ඇති මෙම යොවුන් සේනාංක මධ්‍යස්ථානය අද (05) සිට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මීට අමතරව දොළුව සමෘද්ධි පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ද කොරෝනා රෝගයට ගොදුරු වූ පිරිසගේ ආශ්‍රිතයන් නතරකොට ප්‍රතිකාර ලබාදීමේ මධ්‍යස්ථානයක් වශයෙන්ද සූදානම් කර ඇත.

එහිදී විශේෂයෙන් අදහස් දක්වමින් අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ජාතික උරුම මධ්‍යස්ථානය ද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් වශයෙන් පරිවර්තනය කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි.

රෝගාතුර වන ඕනෑම කෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා තම රජයට හැකියාවක් ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සඳහා රජයක් හැටියටත් සෞඛ්‍ය අංශවල සියලුම නිලධාරීන් වෛද්‍යවරුන් හා සියලුම රාජ්‍ය ප්‍රධානීන් එකමුතුව කටයුතු වල නිරත වන බවත් එම පිරිස් මේවනවිට රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් වෛද්‍ය උපකරණ ඇතුළු සියලු පහසුකම් සකස් කරමින් පවතින බව ද ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 14:14