April 24, 2024

"මේක ප්‍රායෝගික නැති වැඩක්" - දේවි බාලිකාවේ ස්ථාන මාරුව ගැන විදුහල්පතිනියගෙන් ප්‍රකාශයක්

කොළඹ දේවි බාලිකා විද්‍යාලය වෙනත් ස්ථානයකට රැගෙන යන බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව විදුහල්පති ප්‍රදීපා සමරසිංහ මහත්මිය පැවසුවාය.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

එහිදී ප්‍රදීපා සමරසිංහ මහත්මිය මෙසේ ද පැවසිය.

"දේවි බාලිකා විද්‍යාලයට ආදරය කරන ගුරුවරු, ආදී ශිෂ්‍යයාවන්, දැනට ඉගෙනුම ලබන ශිෂ්‍යයාවන් සහ ගුරුවරුන් මේ වගේ ප්‍රකාශ තුලින් කලබල වෙන්න පුළුවන්. ඔවුනට හිත අමාරුකම් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මම ඉතා වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරනවා අධ්‍යාපන ලේකම්තුමාගේ අවසරය පරිදි මම මේ ප්‍රකාශය නිකුත් කරන්නේ. දැනට හෝ ඉදිරියට පාසල මෙතනින් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක නොවන බව ඉතාමත් වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරනවා."

දේවි බාලිකා විද්‍යාලය සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියන් සහ ආදී ශිෂ්‍යයාවන් ඊයේ (03) මාධ්‍ය හමුවක් කැඳවමින් තත්වය පිලිබඳ කරුණු අනාවරණය කළේය.

දේවි බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ජයන්ති පින්නගොඩ මහත්මිය මෙසේ සඳහන් කළාය.

"ගණිත විද්‍යා අංශය වැඩි දියුණු කිරීම සඳහා වෙනත් පාසලකට දේවි බාලිකාව ගෙන යන බවයි අපිට දැනගන්නට තියෙන්නේ. මට නම් හිතෙනවා මේක හුඟක් ප්‍රායෝගික නැති කටයුත්තක් කියලා. පාසල තුලම ගොඩනැගිලි හදලා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන එක හොඳ දෙයක් කියලා තමයි මම හිතන්නේ."

දේවි බාලිකා විද්‍යාලයේ හිටපු ගුරුවරියක් වූ ඉන්ද්‍රානි හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ සඳහන් කළාය.

"දේවි බාලිකාව දේවි බාලිකාවියන්ටත්, විජේරාම මහා විද්‍යාලය විජේරාමේ ශිෂ්‍යයාවන්ටත් ඉතිරි කරන්න. ඒක දේවි බාලිකාවක් කරන්න බැහැ කිසිදාක. අපිට ඒගොල්ලන්ගේ පාසල ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ."

දේවි බාලිකා විද්‍යාලයේ ආදී සිසු ආචාර්ය නීතිඥ දයානි පනාගොඩ මෙසේ සඳහන් කළාය.

"එක පාරට කලබල වුනා නෙවෙයි. දේවි බාලිකාව වැඩිදියුණු වෙනවා නම් ඒක එතන තියෙද්දීම සිද්ධ විය යුතුයි. නමුත් අපි දැක්කා කැබිනට් පත්‍රිකාවක සඳහන් කරලා තියෙනවා අලුතෙන් ගන්න ඉන්න ළමයින්ට වෙනත් ඉස්කෝලයකට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන කතාවක් අවුරුදු දෙකක් තුල. එතකොට අපිට ලොකු සැකයක් සමඟම අපිට ඇති වෙනවා පොඩි බියක් මේ අපේ පාසලට මොකද වෙන්නේ කියලා. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියලා කතාවක් තියෙනවනේ."

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කාලාපයට අයත් මහාමායා බාලිකා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් භාවිතයට නුසුදුසු බව ඉංජිනේරුමය නිර්දේශයක් ලැබී ඇති බැවින් පන්ති 13ක් පවත්වා ගැනීමේ ගැටලුවකට එම පාසල මුහුණ දී සිටින්නේ, පසුගිය වසරේ සිටය.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම ගැටලුවට ඉකුත් පෙබරවාරි මාසයේදී විසඳුමක් ලබා දුන්නේය.

ඒ, මහාමායා බාලිකා විද්‍යාලයේ පෝෂිත පාසලක් වන නුගේගොඩ විජයාරාම මහා විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් මහාමායා බාලිකා විද්‍යාලයේ පන්ති පැවැත්වීම සඳහා වෙන් කිරීමයි.

ඒ අනුව මහාමායා බාලිකා විද්‍යාලයට සම්බන්ධ මව්පියන් තම පාසල සඳහා වෙන්කෙරුණු විජයාරාම මහා විද්‍යාලයේ ගොඩනැගිල්ල හා ඩෙස්, පුටු අලුත්වැඩියා කර තම දරුවන් වෙනුවෙන් සූදානම් කර ති‌බේ.

අක්කර හතර හමාරක භූමියක පිහිටි ගොඩනැගිලි ඇතුළු සෙසු පහසුකම්වලින් අනූන විජයාරාම මහා විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන්නේ සිසුන් 71 දෙනෙකු බැවින් හා එම 71 දෙනා 6 වන ශ්‍රේණියට සමත්වූ පසු ඇතුළත් කර ගැනෙන්නේ මහාමායා විද්‍යාලයට බැවින් මහාමායා විද්‍යාලයේ ඉඩකඩ හිඟයට විජයාරාම මහා විද්‍යාලයේ අතිරික්ත ඉඩකඩ යොදා ගැනීම සාධාරණීකරණය කළ හැකියි.

එහෙත් පාර්ලිම්න්තු මන්ත්‍රී මධූර විතානගේ මහතාට අනුව නම්, මහාමායා බාලිකා විද්‍යාලයේ ඉඩකඩ හිඟයට විජයාරාම මහා විද්‍යාලය යොදා ගැනීම හොඳ විසඳුමක් නොවේ.

පාර්ලිම්න්තු මන්ත්‍රී මධූර විතානගේ මහතා මෙසේ අදහස් දැක්විය.

"මේ විදුහල තවත් පළාත් සභාවකට අයත් මහාමායා කියන විද්‍යාලයට නියුක්ත කිරීමට උත්සාහ කරන තත්වයක් අපිට දැන ගන්නට ලැබුනා. නමුත් එම මහාමායා විද්‍යාලය තියෙන්නේ මහරගම ප්‍රදේශයේ. මහාමායා විද්‍යාලයේ සිට මේ විදුහල කිලෝමීටර් 1.5ක් වගේ දුරකින් තියෙන්නේ. ඒ නිසා ඒක ප්‍රායෝගික නැහැ."

ඔහු ඊට හේතුව ලෙස දක්වන්නේ, පාසල් 2ක අතර කිලෝ මීටරයක පමණ දුරක් තිබීම නිසා එය ප්‍රායෝගික නොවන බවයි.

විජයාරාම මහා විද්‍යාලයේ විදුහල්පතිවරිය ඉකුත් පළමු වෙනිදා මිරිහාන පොලීසියට කර ඇති පැමිණිල්ලට අනුව පෙර දින මෙම පාසලේ ගේට්ටුවේ දෙරගුලු කඩා පාසලට ඇතුළු වූයේ යැයි කියන පිරිස අතර මන්ත්‍රී මධූර විතානගේ මන්ත්‍රීවරයා ද වේ.

පැමිණිල්ලට අනුව දිලිත් ජයවීර හා ධම්මික පෙරේරා යන අයවලුන් ද ඉකුත් 28 වනදා මෙම පාසලට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස අතර සිටිති.

එම බලහත්කාරී ක්‍රියාවෙන් දෙසතියකට පසු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියකින් සැල කර සිටින්නේ, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉඩකඩ පහසුකම් හිඟයට පිළියම් ලෙස නුගේගොඩ විජයාරාම මහා විද්‍යාලය යොදා ගැනීමට යෝජනා වී ඇති බවය.

එලෙස යෝජනා කර ඇත්තේ, කවුරුන් කවදා කොතැනකදී ද යන්න ලේකම්වරයා එහි සඳහන් කර නොමැත.

එහෙත් ලේකම්වරයවා සඳහන් කරන්නේ, නුගේගොඩ විජයාරාම මහා විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයට අනියුක්ත කර දියුණු කිරීමට ව්‍යාපාරිකයෙකු කැමැත්ත පළ කර ඇති බැවින් අදාළ අනියුක්ත කිරීම සිදු කරන ලෙසය.

ආණ්ඩුකාරවරාය එම ලිපියට‌ තබා ඇති සටහන් තුළින් පෙනී යන්නේ, නුගේගොඩ විජයාරාම මහා විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයට අනියුක්ත කිරීම කාගේ හෝ හදිසි අවශ්‍යතාවක් බවය.

මෙම ලිපියෙන් දින 3ක් ගෙවී යද්දී ආණ්ඩුකාරවරයා ආදාළ අනියුක්ත කිරීමට ලිඛිත එකඟතාව පළ ක‌ර තිබේ.

බොරැල්ලේ පිහිටි දේවි බාලිකා විද්‍යාලයත් නුගේගොඩ පිහිටි විජයාරාම මහා විද්‍යාලයත් අතර දුර පරතරය සැලකිල්ලට ගැනීමේදී දේවි බාලිකා විද්‍යාලයේ කෙටසක් නුගේගොඩ විජයාරාම මහා විද්‍යාලයට ගෙන ඒම ප්‍රායෝගික නොවේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදීද දේවි බාලිකා විද්‍යාලය වෙනත් ස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ජාවක් ඇති විණි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 12:10