May 15, 2021

ස්පුට්නික් එන්නත් තොගය ලංකාවට එව්වේ සාම්පලයක් ලෙස - ඇනවුම් කළ තොගය ලැබෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වැලැක්වීම සදහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - 5 එන්නත් 15,000 ක තොගයක් අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා රජය විසින් ලබා ගැනීම සදහා ඇනවුම් කර ඇති තොගය, මෙරටට ලබා දීමට පෙර, රුසියාව විසින් සාම්පලයක් ලෙස එවනු ලබන බවත්, මේවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් පරිහරණය කරන ආකාරය, ඔවුන්ගේ හැකියාවන් සහ ධාරිතාවයන් අධීක්ෂණය කිරීම සිදු කිරීමෙන් පසුව පමණක්, ඇනවුම් කළ එන්නත් තොගය මෙරටට ලබා දීමට නියමිත බව අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

එසේම  මෙම එන්නත් සෙල්සියස් අංශක ඍණ -20 (-20C°) උෂ්ණත්වයක් යටතේ සැමවිටම ගබඩා කර තැබිය යුතු අතර, ගුවන් තොටුපළ තුළ මෙම එන්නත් ගබඩා කර තබන ආකාරය, ඒවා කොළඹ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  මධ්‍යම ගබඩා තෙක් ප්‍රවාහනය කරන ආකාරය, එම ගබඩා වල මෙම එන්නත් සුරක්ෂිතව තබා ගන්නා ආකාරය, ඉන්පසුව මෙම එන්නත් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය රෝහල් වෙත රැගෙන යන ආකාරය, එහිදී එම රෝහල් වල ගබඩා කර තබන ආකාරය,එහිදී මෙම එන්නත් කුප්පි විවෘත කර පැය 02 ක් තුළ අදාළ පුද්ගලයන් වෙත ලබා දිය යුතු අතර, එම ක්‍රියාවලිය නිසි පරිදි මෙරට තුළ ඉටු වේ ද යන්න අධීක්ෂණය කිරීමෙන් පසුව පමණක් රුසියාව මෙම ස්පුට්නික් - 5 එන්නත් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාව මෙම ස්පුට්නික් - 5 එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් මිලදී ගැනීම සදහා රුසියාවේ ගැමලියා ආයතනය වෙත ඇනවුම් කිරීම සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත  කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරිය අනාවරණය කළාය.

මෙම එන්නත් තොගය අද (04) අලුයම 1.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 1668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.

මෙම එන්නත් තොගය නිල වශයෙන් භාර ගැනීම සදහා රාජ්‍යය අමාත්‍ය චන්න ජයසුමන මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත රථ කීපයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට  ඔවුන්ගේ ගබඩා සංකීර්ණය වෙත අද (04) දින රාත්‍රීයේම රැගෙන යෑම සිදු කෙරුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 09:53