March 29, 2024

බැසිල්ගේ ඉවසීමේ සීමාව පනි: මෙතන කට්ටියක් විමල් එක්ක කැරලි ගහනවා - මෛත්‍රී ඉදිරියේම කියයි Featured

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැමවිටම උදව් කරන බවත් එහෙත් ශ්‍රීලනිපයේ ඇතැමුන් විමල් වීරවංශ අමාත්‍යවරයා සමඟ එකතු වී කැරලි ගහන බවට ශ්‍රීලනිපයේ ප්‍රබල සාමාජික පිරිසක් ඉදිරියේ බැසිල් රාජපක්ෂ මහතා චෝදනා කළ බවට තොරතුරු හෙළිදරව් වේ.

පළාත් සභා මැතිවරණය පිළිබඳව පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ශ්‍රීලනිපය සමඟ පැවැති රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා මෙම චෝදනාව එල්ල කොට තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා මේ චෝදනාව එල්ල කොට තිබෙන්නේ ශ්‍රීලනිපයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඉදිරියේය.

එම සාකච්ඡාවේදී එක් කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ පොදුජන පෙරමුණ යෝජනාව ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා මෙම චෝදනාව එල්ල කරමින් වැඩිදුරටත් සඳහන් කොට තිබෙන්නේ ශ්‍රීලනීපය සාකච්ඡාවක් ඉල්ලන සැනින් තමන් එය ලබා දෙන බවය.

බැසිල් රාජපක්ෂ මහතාගේ චෝදනාවන්ට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වන අතර ඔහු සඳහන් කොට තිබෙන්නේ ඔය චෝදනා එල්ල කරන්නේ තමන්ට විරුද්ධව බවත් තමන් එසේ කොට නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා වැරදි වැටහීමක සිටින බවය.

මෙම රැස්වීමට ආණ්ඩුව වෙනුවෙන් විෂය භාර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද සහභාගි වී තිබේ.

Rate this item
(5 votes)
Last modified on Sunday, 02 May 2021 00:19